1803 ඉංග්රිසින්ගේ මහනුවර ආක්‍රමණය නිමේෂ තිවංකර සෙනෙවිපාල ============================= 1803 ජනවාරි 31 ජෙනරාල් මැක්ඩොවෙල් යටතේ කොළඹින් ද, පෙබරවාරි 04 වැනි දා ලුතිනන් කර්නල් බාබුට් යටතේ ත්‍රිකුණාමලයෙන් ද පිටත් වූ ඉංග්‍රීසි සේනාවෝ උඩරට රාජ්‍යත්වයේ අනුප්‍රාප්තිකයෙකු වූ මුත්තුසාමි ද කැටුව සත් කෝරළේ ගිරිහාගම හරහා විත් පෙබරවාරි 21 වැනි දා ත්රිසිංහල මායිමේ වූ කටුගස්තොටේ කදවුරු බැන්දෝ ය. එදින ම රාත්‍රියේ සිංහලේ නුවරට පහර දෙන්නට ඔවුහු සැලසුම් කළෝ ය. එහෙත්, ඉංග්‍රීසි හමුදා කන්දේ නුවරට ඇතුලු වන විට එහි කිසිවෙකුත් නොවූහ. රජමාළිගාව පවා හිස් විය. නගරයේ කිසිවෙකුත් නොවීය. දළදා මාළිගාව ද පාලුවට ගොස් තිබූ අතර, දළදා කරඩුව ද හිස් ව තිබුණි. ඒ අතර ලැබුණු ඔත්තුවකින් කියවුණේ සිංහලේ රජුත්, මහසේනාවත් දියතිලක නුවර කරා පසුබැස ගොස් ඇති බවකි. මෙතෙක් දෙපාර්ශ්වයෙන් කිසිවෙකු වෙතින් හෝ එකදු වෙඩි උණ්ඩයක් හෝ පත්තු වී නොතිබුණේ ය. ඉංග්රීසිහු එදින ම කන්දේ නුවර වට කොට ආරක්ෂක මුර වළලු යෙදූහ. දියතිලක කෝරළයේ සගරුවන්කෙත නොහොත් හගුරන්කෙත වනගත ව රැදී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙවි මහ රාජොත්තමයන් චරපුරුෂ...