ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත්වල ඉරණම සහ ලන්ඩනයේ ඇති පුස්කොළ පොත් ලංකාවට ගෙන්වාගැනීමේ උත්සාහයේ විකාරය!

ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත්වල ඉරණම සහ ලන්ඩනයේ ඇති පුස්කොළ පොත් ලංකාවට ගෙන්වාගැනීමේ උත්සාහයේ විකාරය!

=================================

නිමේෂ තිවංකර සෙනෙවිපාල

බ්‍රිතාන්‍ය සිවිල් නිළධාරියෙකු වශයෙන් 1865 දී ශ්‍රී ලංකාවට පැමිණෙන හ්‍යු නෙවිල් 1897 දක්වා වසර 32ක් මෙරට බ්‍රිතාන්‍ය පාලනයට හවුල් වූයේ ය. එකී කාලය තුළ හ්‍යු නෙවිල් දිවයින පුරා නොයෙක් ප්‍රදේශයන් හි සංචාරය කරන ලද අතර, එවක යටත්විජිත නිළධාරින් අතර පැවති ජනප්‍රිය ම විනෝදාංශය වූ සංස්කෘතික සංස්පර්ශනීය වස්තූන් එක් රැස් කිරීම කෙරෙහි ද යොමු විය. එය එකල මෙරට සිවිල් සේවයේ කැපී පෙණුනු බ්‍රිතාන්‍ය නිළධාරින් සියලු දෙනා පාහේ උනන්දුවෙන් සිදු කළ කාර්යයක් විය. මෙරට පමණක් නොව, සමකාලීන සෑම බ්‍රිතාන්‍ය යටත්විජිතයක ම පාහේ එය සිදුවිය. මෙසේ ඒකරාශී කරන ලද සංස්පර්ශනීය වස්තූන්, අලෙවියට හෝ වෙන්දේසියට වඩා ඔවුන් විසින් භාවිත කරන ලද්දේ, ස්වකීය අභිමානය, සමයාන්තර හා දේශාන්තර දැනුම විදහාපාන මෙවලම් වශයෙනි. එය සම්භාව්‍ය පුරාවිද්‍යා අවධිය සේ ව්‍යවහාර කරනු ලැබේ.



මෙසේ ශ්‍රී ලංකාවෙන්, බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවලට ගෙනයන ලද පුරාවස්තු හා වෙනත් භෞතික සම්පත් රැසකි. ඒවා අතර ලාංකීය/දේශීය තුවක්කු හා වෙනත් ආයුද, ප්‍රතිමා හා මූර්ති, ශිලාලේඛණ හා තඹපත් වැනි දෑ, පුස්කොළ පොත් හා වෙනත් ලිපි ආදිය සුලභ ය. ඇමෙරිකාව, නෙදර්ලන්තය, පෘතුගාලය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය වැනි රටවල එවැනි බොහෝ උරුමයන් අද ද ප්‍රදර්ශනය වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, මෙකී පුස්කොළ පොත් නැවත ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍යය සමඟ නඩු කියන්නට යන්නේ'ය යන ප්‍රවෘත්තියත් සමඟ, මගේ අදහස ද මෙහි ලා දැක්වීමට කල්පනා කළෙමි.

පුස්කොළ පොත් 8000කට නොඅඩු ගණනක් සමඟ ගණුදෙනු කර ඇති බැවින් ද, ඒවා සුචිගතකරණ සම්බන්ධව වසර 4ක පමණ අත්දැකීම් ඇති බැවින් ද, අප්‍රකට පුස්කොළ පොත් රැසක් සංස්කරණ කර මුද්‍රණය කර ඇති බැවින් ද මේ සම්බන්ධව කතා කිරීමේ ශුද්ධ අයිතියක් මට තිබේ!

■ හ්‍යු නෙවිල් එකතුවේ ඇත්තේ මොනවාද?

ශ්‍රී ලංකාවේ ගත කළ වසර 32ක කාලය තුළ හ්‍යු නෙවිල් විසින් එක් රැස් කොට එතෙර ගෙන ගිය පුස්කොළ පොත් සංඛ්‍යාව ගණනින් 2227 ක් විය. සිංහල, පාලි, සංස්කෘත, දෙමළ යන භාෂා පිළිබඳ ප්‍රාමාණිකයෙකු වූ නෙවිල් සිය විශ්‍රාමික ජීවිතය සැලසුම් කළේ එකී පුස්කොළ පොත් සඳහා පරිපූර්ණ සූචියක් සකස් කිරීම සඳහා වුවත් එය ඔහුගේ ජීවිත කාලය තුළ කළ හැකි වූයේ නැත. ඔහුට කළ හැකි වූයේ වෙළුම් දෙකක් පමණි. එහි ඉතිරි පොත් සඳහා වෙළුම් හතකින් යුත් සූචියක් සකස් කරන ලද්දේ ප්‍රකට ශාස්ත්‍රඥයෙකු වූ කේ. ඩී. සෝමදාස විසිනි.



මෙම සුවිශාල එකතුව නෙවිල්ගේ පුද්ගලික භාරයේ තිබී පසුව ලන්ඩනයේ බ්‍රිටිෂ් ම්‍යුසියම් වෙත 1898 දී ලබාගන්නා ලදී.

එතැන් පටන් ලෝකය පුරා ම සිටින පෙරදිග අධ්‍යයනයන් හි නියුක්ත ශාස්ත්‍රඥයන් විසින් භාව්ත කළ හැකි පරිදි එකී සුවිශාල පුස්කොළ පොත් එකතුව මැනැවින් සුරක්ෂා කර තිබේ.

මෙම පොත් එකතුව අතර අතිශය දුර්ලභ කාව්‍ය සංග්‍රහයන්, වෙද පොත්, ඓතිහාසික විස්තර අඩංගු ලේඛණ, පෘතුගීසි සමයේ ලියවිලි, ධර්මග්‍රන්ථ, සාහිත්‍යමය ගද්‍ය රචනා ආදී විශාල විවිධත්වයක් පවතී. මෙරට ඓතිහාසික ලේඛණ සම්ප්‍රදායේ හරයෙන් කොටසක් එහි ඇති බව නොරහසක් නොවේ.

■ ලංකාවේ දැනට ඉතිරි ව ඇති පුස්කොළ පොත්

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කැළණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආදි රාජ්‍ය ආයතන ගණනාවක් මගින් මෙරට පුස්කොළ පොත් සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද මුත්, ඒවා සියල්ල අවිධිමත් හා අසම්පූර්ණ කාරණාවන්ගෙන් ගහණ බව මගේ අත්දැකීම යි. 2011 සිට 2015 දක්වා මහනුවර දළඳා මාළිඟාවේ පුස්කොළ පොත් 3000ක් පමණ ඇසුරු කොට ඒ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා, පොත් කිහිපයක් ම එළි දැක්වීමෙන් නොනැවතී, උඩරට පහතරට කොළඹ ආදි ප්‍රදේශවල විහාරස්ථාන 80කට වැඩි ගණනක පුස්කොළ පොත් 8000ක් පමණ සම්බන්ධයෙන් අත්දැකීම් සහිත අයෙකු වශයෙන් මා දුටු යථාර්ථය වන්නේ මෙතෙක් විධිමත්ව මෙරට පොත්ගුල් සම්බන්ධ අධ්‍යයනයක් සිදු වී නොමැති බවයි.

විශේෂයෙන් ම පුස්කොළ හෝ පැරණි අත්ලිපි සම්බන්ධයෙන් කරනු ලබන අධ්‍යයනයන්හි දි හමුවන නව තොරතුරු වසන් කිරීමත්, ඇතැම් වැදගත් පොත් පුද්ගලිකව ලබාගැනීමත්, පුස්කොළ පොත් පිළිබඳව තමාගේ අධිකාරිත්වයක් පවත්වා ගැනීමට ආශා කිරීමත් යන කරුණු නිසා එකී ව්‍යාපෘති අසාර්ථක වී ඇත. එමතු ද නොව, විෂය ප්‍රාමාණිකයන් හා විෂය සම්බන්ධ උනන්දුවන්නන් අත හැර අවසන් වසර සරසවි සිසුන් එවැනි ව්‍යාපෘති සඳහා සම්බන්ධ කරගැනීම ද අයහපත් ප්‍රවණතාවකි.
කෙසේ හෝ වේවා මා ඇසුරු කර ඇති සුවිශාල පොත් අතර ප්‍රතිශතයක් වශයෙන් සියයට 60ක් පමණ පැවතියේ පිටපත් කරන ලද ධර්මග්‍රන්ථ ය. ධම්මචක්ක සූත්‍ර හා සන්න, සතිපට්ඨාන, බ්‍රහ්මජාල, පරිනිබ්බාන යනාදි සූත්‍ර උද්ධෘත බහුල වශයෙන් විය. සාහිත්‍යයික හා ඓතිහාසික අගයෙන් අනූන පොත් සියයට පහළොවක් පමණ ද, වෛද්‍ය ශාස්ත්‍ර හා මන්ත්‍රාදිය සහිත පොත් සියයට දහයක් පමණ ද මට හමුවී ඇත.

එසේ ම මෙතෙක් අප්‍රකට ව පැවති පොත් හා ප්‍රවෘත්තීන් සහිත පොත් 50ක් පමණ හමුවී ඇති අතර, ඒවායෙන් 30ක් පමණ පිටපත් කරගන්නා ලදුව, 10ක් පමණ දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.

■ මෙරට පුස්කොළ පොත්වල ඉරණම

ලංකාවේ සතර දිග්භාගයේ විහාරස්ථාන බහුතරයක පුස්කොළ පොත් රාශියක් ඇත. මේවා දැවැන්ත ලී හෝ වීදුරු අල්මාරිවල ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. පුස්කොළ පොත් තිබීම නම්බුවක් සේ ඒ විහාරවල භික්ෂූහු කල්පනා කරති. එබැවින් එවැනි අල්මාරිවල යතුරු එක්කෝ සේප්පුවේ ය. නැත්නම් ඉණේ ය. ඇතැම් පොත් අවුරුදු සීයකින්වත් විවෘත කර නැත.

ලංකාවේ පුස්කොළ පොත් කොපමණ ප්‍රමාණයක් ඇත්දැයි කවුරුත් ගණන් බලා ඇතැයි මම නොසිතමි.

පුස්කොළ පොත් සකස් කිරීම, ලිවීම, කියවීම, බැඳීම, ගබඩා කිරීම, සංරක්ෂණය යනාදි සෑම කාර්යයකට ම කලාවක් හා සංස්කෘතියක් තිබේ. බොහෝ පන්සල්වල භික්ෂූන් ඒ ගැන තඹ සතේක දෙයක් දන්නේ නැත. දැනගැනීමට උවමනාවක් ද නැත. දැනගෙන වැඩකුත් නැත.

ඇතැම් පන්සල්වල පොත් කිටි කිටියේ බැඳ ඇත. ඒ සඳහා ගෝණි ලණු, කොහු ලණු ද භාවිත කළ තැන් මා දැක ඇත. මගේ මුදලින් ඒවා නිසි ලෙස සකස් කළ අවස්ථා ද එමට ය.

ඇතැම් ස්ථානවල තෙතමනය, අවිධිමත් බැඳීම, භාවිත නොකිරීම, කෘමීන් හා මීයන්ගේ හානිවලට ප්‍රතිකර්ම නොයෙදීම වැනි හේතු නිසා සියගණනක් පොත්වල පත් ඉරු එකට ඇලීම, හානි වීම යනාදි කරුණුවලින් සම්පූර්ණයෙන් විනාශයට පත් ව තිබේ.

මට බොහෝ අත්දැකීම් ඇත.

වරක් හතර කෝරළේ එක්තරා ප්‍රසිද්ධ විහාරයකට ගිය මට පළමුවැනි විමලධර්මසූරිය රජුගේ පරංගි හටනක් ගැන පොතක් හමු විය. විමලධර්මසූරියගේ යුද්ධ ගැන ලියැවුණු එකදු පුස්කොළ පොතක්වත් නේ ලෝකයේ නැත. එහෙත් එම පොතේ සියයට අනූවක් පමණ මීයන් විසින් කා දමා තිබුණි.

දියතිලක කෝරළේ විහාරයක පොත් අතර තිබී දෙවැනි රාජසිංහ රජුගේ ළමා විය ගැන පත් ඉරුවක් හමුවිය. එවැන්නකු දු මේ ලෝකයේ කොහේවත් නැති බව මගේ විශ්වාසය යි. එහෙත් එම පොත එහි නොවී ය. කලකට පෙර ගින්නකින් බේරාගත්තේ එපමණක් යැයි භික්ෂුව මට කීවේ ය.

සත් කෝරළේ එක්තරා ප්‍රසිද්ධ විහාරයක තිබූ වැදගත් පුස්කොළ පොත් කිහිපයක් මෙරට ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් රැගෙන ගිය බවත්, දැන් ඔහු ඒවා ගැන අමතක බව කියන බවත් එම විහාරයේ විහාරාධිපති භික්ෂුව කියා සිටියේ ය.

1998 දී සකස් කරන ලද දළඳා මාළිඟාවේ පුස්කොල පොත් සූචියේ අඩංගු පොත් කිහිපයක් ම දැන් එහි නැත. "බුද්ධාස් ටෙක්ස්ට්" යැයි කියමින් පුස්කොළ පොත් විකිණීමක් ගැන වසර තිහකට පමණ පෙර දියවඩන නිළමේ වෙත එවන ලද පෙත්සමක් ද මට එහි දී හමුවිය.

හත් කෝරළේ ම තවත් විහාරයක 1990 ගණන්වල තිබුණේ යැයි සඳහන් වූ ජාතක පොතක් බලන්නට වරක් ගිය මට එහි භික්ෂුව අපූරු උත්තරයක් දුන්නේ ය.

"මහත්තයා, මෙහෙ පුස්කොළ නම් නෑ. ගුණසේන එකෙන් කරපු පොත තියෙනවා. ඒක දෙන්නද?"

අවාසනාව නම් 1990 ගණන්වල ජාතික ලේඛනාරක්ශක දෙපාර්තමේන්තුවෙන් සකස් කළ නාමාවලියක එම විහාරයේ ම පොත් 148ක් තිබූ බව සඳහන් වීමයි.

පොත් තුන හතරක පත් ඉරු එකට තබා ගට ගැසූ අමුතු පොත් ද අනන්ත හමු වී ඇත.

පුස්කොළ පොත් 150කට ආසන්න ගණනක් තිබූ මහනුවර ආසන්නයේ එක්තරා ප්‍රකට විහාරයක දන් එක් පොතක්වත් නැත. ඇබිත්තයා ඒවා හොරකම් කළේ යයි භික්ෂුව කීවේ ය.

1980 ගණන්වල පුස්කොළ පොත් 200කට වඩා තිබූ ගඟඉහළ කෝරළේ එක්තරා රජමහා විහාරයක දැන් එක් පොතක්වත් නැත.

හතර කෝරළේ එක්තරා විහාරයක දී මෙතෙක් හඳුනා නොගත් සංදේශ කාව්‍යයක් මට හමුවිය. අවාසනාව නම්, එහි සියලු පත් ඉරු එක ගුලියට ඇලවී තිබීම යි. එවැනි තත්වයකට පත් වූ පුස්කොළ පොතක් යළි සකස් කිරීම උගහට ය. පන්සලේ භික්ෂුව කීවේ, තමා සිතා සිටියේ එය පිරිත් පොතක් යැයි කියා බව ය.

■ පුස්කොළ පොත් කෑදරකම

එක්තරා විශ්වවිද්‍යාලයක පුස්කොළ පොත් පර්යේෂණයකට සම්බන්ධව සිටි අයෙකුගේ ගෙදර පොත් 27ක් තිබුණි!

වරක් මා සකස් කළ පුස්කොළ පොත් නාමාවලියක් මෙරට ප්‍රකට සංගමයක ඉහළ නිළධාරියෙක් මගෙන් ඉල්ලුවේ ය. එය දීම ප්‍රතික්ෂේප කළ බැවින් එම සංගමයේ කිසිදු අවස්ථාවකට මට ආරාධනා ලැබෙන්නේ නැත.

එමතු ද නොව, පන්සල්වල භික්ෂුන් යනු පුස්කොළ පොත්වලට අරක්ගත් බහිරවයන් වැනි කණ්ඩායමකි. බහිරවයා නිධන් ගොඩගැනීමට දෙන්නේ නැත. ඌ ඒකෙන් වැඩක් ගන්නේ ද නැත. අන්තිමට නිධානයෙන් වැඩක් ද නැත.

ඇතැම් විහාරයකට අප ගිය විටෙක, එහි භික්ෂුව හැසිරෙන්නේ පුස්කොළ පොත් ගැන තමා සියල්ල දන්නා සේ ය. අල්මාරිය හැර බලන විට පොත් සියල්ල මීයන් කා දමා ය!

ඛේදාන්තය වන්නේ එය යි. පන්සල් භාරයේ තිබෙන පුස්කොළ පොත්වලින් බහුතරයක් දැනටමත් තිබෙන්නේ අතිශය අවධානම් තත්වයක ය. ඒවා සමාජගත වන්නේ නැත. මීයන්ගේ දත් කැසිල්ලට බෙහෙත් සපයනවා පමණි.

ලංකාවේ පවතින්නේ උනන්දුවන්නා උනන්දු කරවන ක්‍රමයක් නොවේ. උනන්දුවන්නා පසුගාමි කරවන සිතුවිල්ලකි. ඇතැම් භික්ෂුන් වහන්සේලා අපගේ වෑයමට අනුබල දෙමින්, උනන්දු කරවා හැකි සෑම සහයක් ම ලබාදුන් නමුත් ඇතැම් භික්ෂුන් යට කී බහිරවයන් සේ හැසිරුණු බවට අත්දැකීම් අනන්ත ඇත.

එහි අවසන් ඵලය වූයේ දහස් ගණන් වියදම් කරමින් ස්වේච්චාවෙන් කළ පුස්කොළ පොත් ගවේශය නතර කර දැමීමට තීරණය කිරීම ය.

■ කළ යුත්තේ කුමක් ද?

එංගලන්තය හා වෙනත් බටහිර රටවල ඇති පුස්කොළ පොත් ගැන වදවන අප, මෙරට පුස්කොළ පොත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද? ඒවායේ ගැබ් ව ඇත්තේ අතීත සමාජයේ දැනුම් කෝෂ්ඨය ය.

අඩු තරමින්, බටහිර රටවල ඇති පොත් නිසි පරිදි සංරක්ෂණය වෙමින් තවත් වසර සියයක් දෙසීයක් ආරක්ෂා වන බවටත්, ඒවා පරිශීලනය කිරීමට ලෝකයේ ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවටත් අපට සහතික විය හැකිය.

එහෙත් ලංකාව ගැන අපට එවැනි සහතිකයක් දිය හැකිද? තව අවුරුදු 50ක් යන විට පන්සල් සතු පොත් සියල්ලම පාහේ විනාශ වී යනු නිසැක ය. ඒවායේ දැනුම සමාජගත කරන්නට අයෙක් ද නැත. එසේ සමාජගත කරනු ලබන්නාට ඒවා විවර වන්නේ ද නැත.

ඉඳින් අප සත් සමුදුරෙන් එහා පොත් ගැන කතා කරමින්, අල්ලපු වැටේ පුස්කොළ පොත් අමතක කරනවාද යන්න පිළිබඳව කල්පනා කළ යුතුය.

Sarath Weerasekeraලා, සිංහල බෞද්ධ ඡන්ද සඳහා එංගලන්තයේ පුස්කොළ පොත් ගැන වද වෙනවාට වඩා, කළ යුතු රාජකාරි, වගකීම් ලංකාව තුළ ඇති බව සිහි කිරීම මගේ අභිලාෂය යි.

නිමේෂ තිවංකර සෙනෙවිපාල
Nimesha Thiwankara
Nimesha Thiwankara II

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books