1803 ඉංග්‍රිසින්ගේ මහනුවර ආක්‍රමණය

නිමේෂ තිවංකර සෙනෙවිපාල
 =============================

1803 ජනවාරි 31 ජෙනරාල් මැක්ඩොවෙල් යටතේ කොළඹින් ද, පෙබරවාරි 04 වැනි දා ලුතිනන් කර්නල් බාබුට් යටතේ ත්‍රිකුණාමලයෙන් ද පිටත් වූ ඉංග්‍රීසි සේනාවෝ උඩරට රාජ්‍යත්වයේ අනුප්‍රාප්තිකයෙකු වූ මුත්තුසාමි ද කැටුව සත් කෝරළේ ගිරිහාගම හරහා විත් පෙබරවාරි 21 වැනි දා ත්‍රිසිංහල මායිමේ වූ කටුගස්තොටේ කදවුරු බැන්දෝ ය.





එදින ම රාත්‍රියේ සිංහලේ නුවරට පහර දෙන්නට ඔවුහු සැලසුම් කළෝ ය. එහෙත්, ඉංග්‍රීසි හමුදා කන්දේ නුවරට ඇතුලු වන විට එහි කිසිවෙකුත් නොවූහ. රජමාළිගාව පවා හිස් විය. නගරයේ කිසිවෙකුත් නොවීය. දළදා මාළිගාව ද පාලුවට ගොස් තිබූ අතර, දළදා කරඩුව ද හිස් ව තිබුණි. ඒ අතර ලැබුණු ඔත්තුවකින් කියවුණේ සිංහලේ රජුත්, මහසේනාවත් දියතිලක නුවර කරා පසුබැස ගොස් ඇති බවකි.

මෙතෙක් දෙපාර්ශ්වයෙන් කිසිවෙකු වෙතින් හෝ එකදු වෙඩි උණ්ඩයක් හෝ පත්තු වී නොතිබුණේ ය. ඉංග්‍රීසිහු එදින ම කන්දේ නුවර වට කොට ආරක්ෂක මුර වළලු යෙදූහ.

දියතිලක කෝරළයේ සගරුවන්කෙත නොහොත් හගුරන්කෙත වනගත ව රැදී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙවි මහ රාජොත්තමයන් චරපුරුෂයන් යොදවා කන්දේ නුවර වංහුං සියල්ල සොයා බලමින් හුන්නේ ය. පිළිමතලව්වේ විජයසුන්දර නොහොත් අරාවේ පළමු අදිකාරම හැර සෙසු නිලමක්කාරයන් රජු පිරිවරා හුන්නෝ ය.

කන්දේ නුවර අල්ලාගැනීමෙන් සුද්දෝ අමන්දානන්දයට පත්වූවෝ ය. පරංගියාට හෝ ඕලන්දක්කාරයන්ට හෝ ළගාවන්නටවත් නොලැබුණු ගලේ නුවර යැයි කියනු ලබන කන්දේ නුවර අල්ලාගැනීමෙන් ඔවුහු සාද පැවැත්වූවෝ ය. මුත්තුසාමි එහි රජකමට ද පත්කරවූවෝ ය. මාර්තු 03 වැනි දා වන විට පළාගොස් සිටි ජනයා කණ්ඩායම් වශයෙන් යළිත් නගරයට පැමිණෙන්නට විය.

මේ අතර සිංහලේ දෙවැනි අදිකාරම වූ මීගස්තැන්න දියතිලකයේ සිට කන්දේ නුවරට ආයේ ය. ඒ සාම කතා පිණිස ය. කදවුරු භාර මැක්ඩොවෙල් හා ඔහු සාකච්චා කළේ ය. රටින් කොටසක් විධිමත් ව ලබාදෙන්නේ නම් කන්දේ නුවර අතහැර යාමට තමා කැමති බව මැක්ඩොවෙල් කීවේ ය. මීගස්තැන්නේ බඩ අල්ලාගෙන සිනාසුණා පමණි.

සාකච්චා අතහැර දමා සිංහලේ දූතයෝ යළි දියතිලකයට ආවෝ ය. සුද්දාගේ කතිකාව මහරජ්ජුරුවන් උදහස් කළේ ය.
“පෙර කලෙක හෝ රාජ්‍යය දෙකඩ කළ රජෙක් මේ දෙරණ සිටියේ ද? අමාත්‍යයිනි නින්දා නොකරවු මා හට. සුද්දාට බිය වැදී කැලෑබද ව වෙසෙන්නට නම් මේ රජකම මට කුමට ද?”
යැයි මහරජු විමසූ බව ඉංග්‍රිසි හටන කියයි.

මහරජ්ජුරුවෝ යුද්ධය පිණිස ආඥා පැවැත්වූහ.

සතර කෝරළේ ලෙවුකේ දිසාව, මාතලේ මොණරුවිල කැප්පෙටිපොල දිසාව, සබරගමුවේ කහදව දිසාව, උඩපළාතේ පලිපාන දිසාව, යටිනුවර මොලදණ්ඩේ දිසාව, උඩුනුවර මත්තමගොඩ පඩිකාර ලේකම, හාරසිය පත්තුවේ දොරණෑගම ඇත් අස් පන්තියේ ලේකම, දුම්බර මඩුගල්ලේ අතපත්තු ලේකම, ජා හේවා පන්නයේ දෙහිගම දිසාව, කවිසි හේවා පන්නයේ වෑත්තෑවේ ලේකම, වලපනේ දිසාපති හා සියපි සේනාපති මුල්ලේගම දිසාව, ඌවේ ඇහැලේපොලේ දිසාව, ගොනගහ හේවාහැට ගලගොඩ දිසාව යනාදිහු ස්වකීය හේවා පන්න කැටුව මහරජු බැහැ දුටුවෝ ය.

මේ අතරතුරේ දී මුත්තුසාමිගේ කීර්තිය බිද වැටුණි. සුද්දා සමග එක්ව රාසිං දෙයියන්ගේ අඩවිය ඉදුල් කළේ යැයි මතයක් ඇතිවිය.

මාර්තු අට වැනි දා රාජසිංහ මහරජ්ජුරුවන් අල්ලන්නට කර්නල් බේලි යටතේ හේවාපන්නයක් හගුරන්කෙතට යැවිණි. කැලෑ මග දී වරින් වර එල්ල වූ සිංහලේ ප්‍රහාරවලින් බේරී හගුරන්කෙතට ඔහු පැමිණෙන විට එහි මාළිගාව ගිණිබත් කොට සියල්ලෝ ම පළාගොස් සිටියෝ ය. ඒ නිල්ලඹේ නුවර ට ය. බේලිගේ හේවාපන්නය ආපසු කන්දේ නුවරට ඒම පිණිස හැරුණි. වැඩි දුරක් එන්නට ඉඩ නොතියා ම කැලෑබද ව සැගවී සිටි සිංහල හමුදා ඛණ්ඩයක් වෙතින් ඔවුන් වැනසෙන ලදී. ඉතිරි වූ කිහිප දෙනෙක් ආපසු කන්දේ නුවරට ආවෝ ය.

නොබෝ දිනක් ගතවිය. ක්‍රමයෙන් කන්දේ නුවර වටා සිංහල රණ වළල්ලක් සැදෙමින් සිටින බව ඉංග්‍රිසින් වටහා ගත්තෝ ය. ඔවුන්ගේ සැපයුම් මාර්ග අඩපණ වී ගියේ ය. සන්නිවේදනය ද සිදු කරගැනීමට මගක් නොවීය. සුද්දා සිර වී සිටියේ ය.

නිල්ලඹ නුවර සිට මහරජ විසින් ආඥාවක් නිකුත් කරන ලදී. අල්ලා එනු හෝ මරා ගෙන එනු ලබන සුදු හිසකට රුපියල් දහයක් හා සුද්දන්ට බලුගැතිකම් කරන අවලමුන්ගේ හිසකට රුපියල් පහක් ලබා දෙන බව එයින් කියැවුණි. ගම්වැසියෝ කල්ලි ගැසී සුද්දන් දඩයම් කරන්නට වූහ. සුද්දාට පක්කලිකම් කරන්නට යළිත් කිසිවෙකු ඉදිරිපත් නොවුණි.

සියළු යුද ශක්තිය කන්දේ නුවරට යොදවා සිටි හෙයින් කොළඹ කොටුව ද පැවතියේ අනාරක්ෂිත තත්වයක ය. උපකාරක සේනාං හෝ නොතිබුණි. කන්දේ නුවර අතිරේක සේනාවක් හංවැල්ලේ පේද්‍රික් කොටුවට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි රාවයක් පැතිර ගියෙන් ඉංග්‍රිසිහු වඩාත් අසරණ වූවෝ ය. කපිතාන් බුලොක් යටතේ සිටි ග්‍රෙනේඩියර් පාබල සේනාවේ භටයන් පනහකුත්, තවත් සොල්දාදුවක් විසි පහකුත් කොළඹ සිට හංවැල්ලට යවන ලදී. එහෙත් සිංහලයන්ගේ ප්‍රහාරයක් එල්ල වූයේ නැත. පේද්‍රික් කොටුවට ආ බුලොක්ගේ සේනාව මාසයක් ඉක්ම යන විට දරුණු ලෙස බැරිබැරියාවට ගොදුරු විය. ග්‍රෙනේඩියර් සේනාංකය සහමුලින් ම ඉන් මරු දුටුවෝ ය. පේද්‍රක් කොටුවේ සිටි 51 වැනි සේනාංකයේ බොහෝ දෙනා ද ඉන් මිය ගියෝ ය. බලකොටුව අතහැර දැමූ සුද්දෝ කොළඹට ම ආවෝ ය.

කෝඩිනර් නම් ලේඛකයා ලියන ආකාරයට, මෙසේ ගෙන එනු ලැබූ මරණවලින් කොළඹ ම එක ම විලාපයකින් වෙළි ගොස් තිබුණි.

මහනුවර තත්වය ද වෙනසක් නොවී ය. බැරිබැරියාව විසින් කන්දේ සිටි ඉංග්‍රිසි සේනාව ද ගිලගෙන තිබුණි. මහනුවර යුද රෝහලේ පමණක් සොල්දාදුවන් 48 දෙනෙකු අසාධ්‍ය තත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියෝ ය.

ඉංග්‍රීසි හමුදා කන්දට ගෙන ඒම පසුපස සිටි පිළිමතලව්වේගේ අරමුණ වූයේ රජකම ලබා ගැනීම ය. ඒ සම්බන්ධයෙන් ඔහු දඹදෙණියේ දී ගොවැර්නදෝරු නෝර්ත් සමග සාකච්චා කළේ ය. ඒ මැයි 03 වැනි දා ය. සාකච්චා අසාර්ථක වූයේ ය. මේ අතර දඹදෙණියේ සිටි කර්නල් බාබුට් ද බැරිබැරියාව සෑදී මළේ ය. පිළිමතලව්වේ යළිත් සිංහලයන්ට පක්ෂග්‍රාහී වන්නට තීන්දු කරන ලදී.
මහනුවර අල්ලාගෙන සිටි 19 වැනි සේනාංකයේ කදවුරු භාර නිළධාරි බ්‍රවුන් මැයි 31 වැනි දා සටහනක් තබමින් කියන්නේ අදිකාරම්වරයා ආ ගිය අතක් නොමැති බවත්, එකදිගට වැටෙන මහවැස්සෙන් තමා ඇතුළු සේනාව අසරණව සිටින බවත් ය. මිය යන උන්ගේ සිරුරු වළදමන්නට තරම් ඇවිදගන්නට පුළුවන් අයෙකු හෝ නොසිටින බව ඔහු දුක්මුසුව ලියා තැබී ය. 19 වැනි සේනාංකයේ කපිතාන් ඇජක්ස් ඇන්ඩර්සන් කියන ආකාරයට 31 වැනි දා වන විට රෝගී තත්වයෙන් සිටි සොල්දාදුවන් ගණන 112 කි. පළා යාමට හෝ හැකි තත්වයේ සිටින්නෙ 23 දෙනෙකු පමණක් බව ද ඔහු කියයි.
පළා යාමට නියෝගයක් ලැබී ඇතත් පළා යන්නට තරම්වත් හයියක් තමාට නොමැති බව 51 වැනි සේනාංකයේ සැපයුම් නිළධාරී ඔම්ස්බි කියයි. කුලීකරුවෙකු හෝ සොයාගැනීමට නොහැකි යැයි ද, රෝගින්ට නිදාගැනීමට තරම් තැනක් වත් නැතැයි ද ඔහු ලියා තැබුවේ ය. හදිසි අවස්ථාවක ප්‍රහාරයක් එල්ල කිරීම සදහා වුව යහපත් තත්වයෙන් සිටියේ කාලතුවක්කු රෙජිමේන්තුවේ සොල්දාදුවන් පස්දෙනෙකු පමණි.

වැටුප් නොලැබීමෙන් ලස්කිරිඤ්ඤ හේවායෝ ද, මැලේ හේවායෝ ද යුද බිම අතහැර ගොස් තිබුණි.

මේ අතර පිළිමතලව්වේ යළි ගොස් දියතිලකයේ දී මහරජු බැහැදුටුවේ ය. තමා ද යුද්ධයට එක් කරගන්නා සේ ඉල්ලා සිටියේ ය. ඊට රජුගේ අනුමැතිය හිමිවිය.

මහනුවර භාර නිළධාරියා වූ මැක්ඩොවෙල් නගරයෙන් නික්ම කොළඹ යනු පිණිස පිටත් ව ගියේ උපකාර ලබාගනු පිණිස ය. ඒ අනුව යුද්ධ භූමියේ නායකත්වය මේජර් ඇඩම් ඩේවි වෙත හිමිවිය. ජූනි 11 වැනි දා දක්ෂ සෙනෙවියෙකු වූ හෙන්ඩර්සන් මිය ගියේ ය.

සියල්ල මෙයාකාරයෙන් සිදුවන අතරතුර සිංහලයෝ සුද්දන්ගේ තුවක්කු පැහැරගත්තෝ ය.

රාජසිංහ මහරජ්ජුරුවෝ යුද්ධය තීන්දු කළේ ය. කතරගම මහසෙන් දෙවියන් දෙස් කොට යුද්ධය දිනන්නට වරම් ලබාගැණුනි.

අරාවේ සෙනෙවිරත්න හා පුස්සැල්ලේ දිසාව සමග රාජසිංහ මහරජ්ජුරුවෝ යුද්ධය සදහා පිටත් වූයේ ය. මංගල හස්තියා පිට නැගී රන් කඩුව සුරතින් දරාගත් මහරජු පිරිවරා දක්ෂ සේනාංකයක් විය. සිංහල සේනාව කන්දේ නුවර වටකරන්නට විය. හන්තාන දෙසින් මහරජු පිවිසියේ ය. රණබෙර වැයෙද්දී පසුබැස පළා යාමේ නියෝග නිකුත් කරන්නට සුද්දන්ට සිදුවිය.

මහනුවර අතහැර යාම සදහා නෝර්ත්ගෙන් නියෝග ඒ වන විට නිකුත් වී තිබූ නමුත් එය මහනුවරට ආවේ නැත. ජූනි 22 වැනි දා සත්කෝරලේ ගිරිහාගම ද සිංහලයන් අතට පත් ව තිබුණෙන් කිසිදු ඉංග්‍රිසි ජාතිකයෙකුට පළායාමේ අවකාශයක් ද නොවීය.

මේ අතර සිංහල හමුදාව පනස්දහස ඉක්මවා තිබුණි. කන්දේ නුවර ඉංග්‍රිසි හේවායන් දෙසිය පනහක් පමණ වී ය. ඔවුන් අතරිනුත් බහුතරය සිටියේ ගිලන් තත්වයේ ය.
හගුරන්කෙතින් ආ මහ සිංහල සේනාව උඩුවෙල කදවුරු බැන්දේ ය. පසුදින උදෑසන නියම කරගෙන තිබූ යුද්ධ නක්ෂත්‍රය අනුව පත්තු වූ කොඩිතුවක්කු වෙඩිල්ල සමග මහරජු යුද්ධයට බටුයේ ය. සිංහල සෙනෙවියෝ එකවර ම නගරය තුළට පැන්නෝ ය.

සත් කෝරළේ මීගස්තැන්නේ දෙවැනි අදිකාරම, සතර කෝරළේ ලෙවුකේ දිසාව, කැප්පෙටිපොළ, කහදව, පලිපාන, මත්තමගොඩ පඩිකාර ලේකම, මොලදණ්ඩ, දොරණෑගම, මඩුගල්ල, මිල්ලව මහලේකම, ඇහැලේපොල, ගලගොඩ, වෑත්තෑවේ ලේකම යනාදිහු එකපැහැර ඝෝෂා කරමින් නගරය තුළට කඩාපිනූහ. අනතුරුව තැන් තැන්වල කදවුරු බැන්දෝ ය.

මුත්තුසාමිගේ ආරක්ෂාව සදහා රැකවල් කළේ ඉංග්‍රිසි හේවායින් විසි තුන් දෙනෙක් පමණි.

24 වැනි දා රාත්‍රියේ සිංහලේ මැලේ බලඇණියක් විසින් ඉංග්‍රිසින්ගේ නැගෙනහිර කදවුරට පහරදීමක් සිදු කළේ ය. රාත්‍රියේ කෝපි බොමින් සිටි කපිතාන් බ්‍රවුන් සහ එන්සින් යන දෙදෙනාට උඩවත්ත කැලේ දෙසින් එන 20 000 ක පමණ සිංහල සෙනගක් දැකගත හැකි විය. සන්සන්ග්ලෝ නම් මැලේ කපිතාන්වරයෙක් ඊට නායකත්වය දෙමින් සිටියේ ය.

ක්ෂණිකව එල්ල වූ ප්‍රහාරය හමුවේ තුවක්කුව අතට ගන්නටත් පෙර සන්සන්ග්ලෝගේ කිණිසි පහරට ලක්වන්නට බ්‍රවුන්ට සිදුවිය. හේ මැරී වැටුණි. පසුපසින් පැමිණි ඩේවි සහ කපිතාන් බැරී විසින් සන්සන්ග්ලෝට බයිනෙත්තුවෙන් ඇණ මරා දැමුණි. එකෙණෙහි ම ඉංග්‍රිසි පවුන්ඩර් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් සිංහලේ හේවායන් විස්සක් මැරී වැටුණි. දෙපිරිස අතර ඇති වූ ගැටුම පැය දහයක් පැවතුණි.

උදෑසන වන විට සිංහල සේනාව රජමාළිගාවට ආසන්න වූ අතර, ඉංග්‍රිසිහු උපරිම බලය යොදවා මුත්තුසාමි ආරක්ෂා කරන්නට කටයුතු කළෝ ය. එහෙත් සංකීලක නම් ජා හරඹක්කාරයෙක් සිංහල රජු වෙනුවෙන් මුත්තුසාමි මරන්නට ඉදිරිපත් වූයේ ය. ඊට අවස්ථාවක් නොලද අතර මුත්තුසාමි විසින් තබන ලද වෙඩිල්ලකින් ජා මුහන්දිරම මැරී වැටුණේ ය.

මේ අතර මුල්ලේගම දිසාව උඩවත්ත කැලේ අල්ලාගත්තේ ය. ඉන් ම යුද්ධය බලගැන්වුණි. උඩවත්ත කැලේ අටවා තිබූ බර කාලතුවක්කු සියතට ගත් සිංහලයෝ ඒවා පුපුරවා හැරියෝ ය.

කුමාරුප්පෙන් ඇතුළු වූ ඇහැලේපොල හා ඔහුගේ සේනාව ද මහනුවර දෙවනත් කළේ ය. දෙහිගම හා වෑත්තෑවේ දෙදෙන දිගු ලංසයකින් සතුරන් නසන්නට විය. මල්වතු පුෂ්පාරාමය දෙසින් පිවිසි මිල්ලව ද ඊට එක් විය. ටිගොල්වෙලෙන් ඇතුළු වූ ගලගොඩ දිසාව ද, වෑවලපිටියෙන් ඇතුළු වූ මඩුගල්ලේ ද, කොටුගොඩැල්ලෙන් ඇතුළු වූ පලිපාන ද, වඩුගොඩපිටියෙන් ඇතුළු වූ මොලදණ්ඩේ ද, බෝගම්බර දෙසින් ඇතුළු වූ මත්තමගොඩ ද, මහයියාවෙන් ඇතුළු වූ දොරණෑගම ද යනාදිහු එකපැහැර සතුරන් නසන්නට වූහ. සතුරන්ගේත්, උන්ගේ පක්ෂය ගත් උන්ගේත් හිස් ගෙඩි කූඩැල්ලන් ගොඩක් සේ ගොඩ කළ බව ඉංග්‍රිසි හටන කියයි.

රාජාඥාවෙන් උද්වේගකර වූ සිංහලයෝ නොවෙක් ආයුදවලින් සතුරන් වනසන්නට වූහ. බොහෝ විට මුගුරු පහර එල්ල කරන ලද්දේ සුද්දන්ගේ හිස්ගෙඩි මතට ය. රම් පීප්ප, බේකරි, මුදල් පෙට්ටි ආදිය පවා විනාශ කරන ලදී. අල්ලාගන්නා ලද ඉංග්‍රිසි හේවායන් පිටිතල හයා බැද මුණින් අතට දමා තලා මරන ලදී. හැකිනම් පළා යන්නැයි අණ කොට, පළා යන විට පසුපස හඹා ගොස් ද සුද්දන් මරා දැමුණි. ඒ වූ කලි අතිශය භයංකර යුද්ධයක් ම විය. ලොව බොහෝ පෙදෙස් හි රණශූරයන් සේ සලකනු ලැබූ ඉංග්‍රීසින්ගේ 19 හා 51 වැනි සේනාංක සහමුලින් ම පාහේ විනාශ කරන ලද්දේ ය.

අවසන යුද රෝහල ද සිංහලයන් අතට පත් විය. රෝගින්ට පවා ගැලවුමක් නොලැබුණි.

ඉතිරි වූ ඉංග්‍රිසිහු මේජර් ඩේවි ද සමග සිංහලයන්ට යටත් වූහ.

අනතුරුව සියලු ආයුධ අතහැර මුත්තුසාමි හා රෝගි සොල්දාදුවන් ද කැටුව නගරයෙන් නික්ම යන ලෙස රජු විසින් ඔවුන්ට ආඥා කරන ලද්දේ ය. මැලේ සොල්දාදුවන් දෙසිය පනහක්, යුරෝපීය සොල්දාදුවන් 34 ක්, බංගලියන් කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් පමණක් එසේ පළා යාමේ වරම ලද්දෝ ය.

රාත්‍රි 7 වන විට මාවිල්මඩට පැමිණි ඔවුන් එතැන දී මහවැලිය තරණය කරගත නොහී කදවුරු බැද රැය පහන් කළෝ ය. රාත්‍රියේ පැමිණි සිංහල පිරිසක් විසින් මුත්තුසාමි එහි දී අත්අඩංගුවට ගනු ලැබුණි. ඉන් අනතුරුව උඩුවෙල දේව සංහිදේ දී මුත්තුසාමිට දස වධ දී මරා දමන ලද්දේ ය. මුත්තුසාමිගේ මමා වූ ගලිබිලිසාමිට ද එම ඉරණම ම අත් විය.

පසුදින උදෑසනින් ම ගග තරණය කොට ත්‍රිකුණාමලයට යාම පිණිස ඉංග්‍රිසිහු පාරු තනන්නට වූහ. එහෙත් ඊට ඉඩක් නොලැබුණි. යළිත් පනස්දහසක පමණ සිංහල බලඇණියක් එහි පැමිණ සියල්ලන් ම අත්අඩංගුවට ගන්නා ලද්දේ ය. මැලේ හා බංගලින් මහනුවරට ගෙන යන ලද අතර, ඉංග්‍රිසින් සියලු දෙනා ම කාපිරි හේවා පන්නයේ ගොදුර බවට පත් විය. ජෙෆ්රි නම් ඉන් ගැලවී ගිය ඉංග්‍රිසි හේවායා කියන ආකාරයට සියලු සුද්දන් වාගොල්ලේ දී පෙති ගසා දමනු ලැබුණි. මේජර් ඩේවි හා කපිතාන් ග්‍රීවිං පමණක් සිරභාරයට ගෙන රාජාධිකරණයට පමුණවන ලදී.
ඒ වූ කලි ඉංග්‍රිසි සේනාංක දෙකක් එකවර එකතැනක දී සමූලඝාතනයෙන් විනාශයට ලක් වූ පළමු සහ එකම සිදුවීම ලෙස ඉතිහාසයේ ලියැවී තිබේ. 19 හා 51 වැනි සේනාංක එසේ විනාශයට පත්විය.

ශ්‍රී වික්‍රම රාජසිංහයෝ යළි කන්දේ නුවර දියුණුකළහ.

නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි
Nimesha Thiwankara
Nimesha Thiwankara II

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books