ක්‍රියාන්විතයක් අතරතුර තුවාල ලැබූ පළමු පොලිස්පති පිළිබඳ සටහනක් : පොලිස් දිනය වෙනුවෙන්!
ක්‍රියාන්විතයක් අතරතුර තුවාල ලැබූ පළමු පොලිස්පති පිළිබඳ සටහනක් : පොලිස් දිනය වෙනුවෙන්!
සුබ සංවත්සරයක් වේ වා! Sri Lanka Police
ලාංකීය සිවිල් සමාජයේ නීතිය හා සාමය ආරක්ෂා කරන ප්‍රධාන ආයතනික දේහය වන ශ්‍රී ලංකා පොලීසියට වසර 159 සපිරෙන්නේ 2025 සැප්තැම්බර් 03 වැනි දා ය.
සිවිල් අරගලයකට මැදි වී තුවාල ලැබූ පළමු පොලිස්පතිවරයා වශයෙන් සැලකෙන්නේ, ලංකාවේ පළමු පොලිස්පති වූ ජී. ඩබ්ලිව්. ආර් කැම්ප්බෙල් මහතා ය. මෑත ඉතිහාසයේ පොලිස්පතිවරු, ක්‍රියාන්විත රාජකාරි සඳහා ක්ෂේත්‍රගතව සහභාගී නොවුණත්, මුල් යුගයේ තත්වය ඊට වඩා වෙනස් විය. මේ සටහන ඒ ගැන ය.
1870 වර්ෂයේ මොරටුවේ විසූ විසිපස් හැවිරිදි සිංහල, රෝමානු කතෝලික තරුණයෙකු වූ සෙල්ලංචි අප්පු සහ බාල වියේ පසූ වූ මීනාචි නම් මරක්කල තරුණියක අතර ඇති වූ පෙම් පළහිලව්වක ප්‍රතිඵලයක් වශයෙන් මොරටුවේ සහ මරදානේ දී පැනනැගුණු සිංහල - මරක්කල ආරවුල ලංකා ඉතිහාසයේ පළමු සිංහල මරක්කල කෝලාහලය බව අප විසින් පෙන්වා දී ඇත.
පැහැරගෙන යාම සහ සොරකම (Abduction and theft) යටතේ කොළඹ දිස්ත්‍රික් උසාවියට කරන ලද පැමිණිල්ලක් ප්‍රකාර ව, සෙල්ලංචි අප්පු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිසා විනිසුරු හෙන්රි කොලින්වුඩ් සෙල්බි (Henry Collingwood Selby) විසින් වරෙන්තු නිකුත් කරන ලදී.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සම්බන්ධයෙන් නඩු කැඳවීම 1870 පෙබරවාරි 25 වැනි දා සිට 28 වැනි දා තෙක් මරදාන පොලිස් උසාවියේ දී පැවති අතර, 28 වැනි දා තීන්දුව ප්‍රකාශයට පත් කරන්නට නියමිත විය.
එදින ලබා දෙන ලද තීන්දුව අනුව, පැමිණිලිකාර මරක්කල පාර්ශවය පරාජයට පත් වූයෙන්, මරදාන පොලිස් මූලස්ථානය ඉදිරිපිට බලවත් නොසන්සුන්තාවයක් උද්ගත විය. ඒ වන විට ඉදි කරමින් පැවති සහිරා පල්ලිය තුළ රැස් ව සිටි පිරිස් විසින් ගල්, ගඩොල් ආදියෙන් පොලීසියට දෙසට දමා ගැසූහ.
පස්වරුව වන විට තත්ත්වය අයහපත් වන බව පෙනී ගියෙන්, පළමු පොලිස්පති, ශ්‍රීමත් ජෝර්ජ් විලියම් රොබට් කැම්ප්බෙල් (SIR George William Robert Campbell), පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාව පාලනයට උත්සාහ ගත්තේ ය.
විනය කරුණක් මත පොලිස් සේවය අත්හිටුවා සිටි, සහ කතෝලික සමය හැර ඉස්ලාම් ආගම වැළඳගෙන සිටි, හිටපු කොස්තාපල් හෝගන් (Ex Constable Hogan) ද විරෝධතාකරුවන් අතර සිටි අතර, පෞද්ගලික තරහ ද පෙරදැරි ව, බැම්මකින් ගලවා ගත් ගඩොලක් ඔහු විසින් පොලිස්පති කැම්ප්බෙල් වෙත දමා ගසන ලදී. ඉන් ඔහුගේ නාසය බිඳී, මුහුණ තුවාල විය.
1870 මැයි 7 වැනි දා, යටත් විජිත ලේකම් වෙත මේ පිළිබඳව පොලිස්පතිවරයා ලියා වාර්තා කරන්නේ මෙසේ ය.
“I received a heavy blow on the face from a brick which slightly stunned me for a moment and this was followed by a volley of other bricks, stones and sticks. In a minute 3 or 4 policemen near me were covered with blood and I was again myself struck heavily. I shouted ‘Call the men from the barracks and let them bring their batons and swords.”
මේ පහරදීම සමඟ පොලීසිය ත්, පොලීසියට පක්ෂපාතී වූ බොහෝ සිංහල පිරිස ත්, මරක්කල විරෝධතාකරුවන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නට වූහ. මින් ඇති වූ නොසන්සුන්තාවය දින කිහිපයක් තිස්සේ කොළඹ පුරා පැතිර ගියේ ය.
ශ්‍රීමත් විලියම් රොබට් කැම්බෙල් පිළිබඳ සටහනක් :
ශ්‍රීමත් ජෝර්ජ් විලියම් රොබට් කැම්බෙල් (Sir George William Rovert Campbell) 1866 සිට 1872 දක්වා ලංකා පොලිසියේ පළමු පොලිස්පති වශයෙන් කටයුතු කළේය. 1835 පෙබරවාරි 07 වැනි දා ස්කොට්ලන්තයේ ආර්ගිල් හි කැම්බටවුන් (Campbelltown, Argyll) හි දී උපන් ඔහු 1905 ජනවාරි 10 වැනි දා මිය ගියේය.
ආර්චිල් හි දී යුද්ධ පුහුණුව ලැබූ ඔහු ඉන් අනතුරුව ඉන්දියාවේ ආදායම් පරික්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර අධිකාරිවරයෙකු වශයෙන් යටත් විජිත පාලනයට එක් වූයේ ය. 1857 ඉන්දියානු කැරැල්ල අවස්ථාවේ දී අහමදාබාද්හි කෝලි බල ඇණි සමග කටයුතු කළ ඔහු එහිදී සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ සහකාර මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් පත්වූයේ ය.
පසුව ඉන්දියාවේ රත්නගිරි ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අතර ලංකාණ්ඩුවේ ආණ්ඩුකාර හර්කියුලිස් රොබින්සන් (Hercules Robinson 1865 – 1872) විසින් 1866 සැප්තැම්බර් 03 වැනි දා ලංකා පොලිස් හමුදාවේ (Police Force) ප්‍රධානියා වශයෙන් පත්කරන ලදී. 1866 සැප්තැම්බර් 03 වැනි දින ලංකා පොලිස් සේවය පිහිටවූ පසුව, 1867 දී ඔහු ලංකාණ්ඩුවේ පළමු පොලිස්පති වශයෙන් පත්කරගනු ලැබුණි.
1872 දී ලංකා පොලිස් සේවයෙන් ඉවත් වූ ඔහු, එතැන් පටන් මැලේසියාවේ පෙනැන්ග් (Penang) හි වැඩ බලන උප ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කර යැවීය. 1887 දී Order of Micheal and St Cigorge (CMKG) පදක්කමෙන් පුදනු ලැබූ ඔහු 1891 දී සිය රාජකාරි දිවියෙන් විශ්‍රාම ගත්තේ ය. එම වසරේ දී ම බ්‍රිතාන්‍ය මහාරාජිණිය විසින් ඔහුගේ සේවාව අගයනු වස් නයිට් පදවියකින් ද පුදන ලද්දේ ය.
ඔහු 1862 දී ලුයිසා ජෝර්ජිනා (Louisa Georgina) මෙනෙවිය සමඟ විවාහ වූ අතර, ඇය 1885 දී මියගියෙන්, දෙවැනි වර 1886 දී මාරි ගාර්ටිරුඩ් (Mary Gertrude) මෙනෙවිය සමඟ විවාහ වූයේ ය. එම විවාහය 1903 වසරේ දී දික්කසාද කරන ලදී.
නිමේෂ තිවංකර සෙනෙවිපාල
විලියම් රොබට් කැම්බල්ගේ සමරු ඵලකයේ නිරූපිත රුව
The portrait of William Robert Campbell



Comments
Post a Comment