ඩොයිලිගේ ඉඩම හරහා ගන්නෝරුවෙන් එතෙර වීම
ශ්‍රී වික්‍රම රාජසිංහ අල්ලා ගනු ලැබීමෙන් පසු, උඩරට පළාත් වල පාලනය සඳහා පත් කරනු ලැබූ කොමසාරිස් මණ්ඩලයේ, පළමු කොමසාරිස්වරයා මෙන් ම, උඩරට බ්‍රිතාන්‍ය නිත්‍ය නේවාසික නිලධාරියා වශයෙන් පත් වූ, ජෝන් ඩොයිලි 1824 මැයි මස 25 වැනි දා සත් කෝරලේ රාජකාරි ගමනක් අතරතුර ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මිය ගියේ ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 49 ක් වූ අතර, සියවස් ගණනාවක් නො නැසී පැවති ලක්දිව ස්වාධීනත්වය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටතට පත් කරන විට ඔහුගේ වයස අවුරුදු 41 ක් පමණක් විය.
කෙසේ වෙතත්, කර්මාන්විත වූ මරණයට පත් වීමෙන් පසු, ඔහුගේ දේහය, ඔහුගේ පදිංචි ස්ථානය වූ, මහනුවර මහවාසල් ගොඩනැගිල්ල වෙත ගෙනැවිත් පසුව, ගැරිසන් සුසානයේ දී භූමදාන කරන ලදී. වර්ග අඩි කිහිපයක භූමියක් ඔහුට අදට ත් හිමි ව තිබේ.
මා මේ කියන්නට යන්නේ, ඩොයිලිට හිමි ව තිබූ ඉඩමක් ගැන ය.
ඩොයිලි මහනුවරට පැමිණීමෙන් පසු, නගර මායිමේ පිහිටි ඉතා ම වැදගත් ඉඩමක් තමන් සතු කර ගත්තේ ය. එය් පිහිටා තිබුණේ මහනුවර නගරයට පිවිසෙන ස්ථානයේ, ගන්නෝරුව තොටුපොළ ආසන්නයේ ය. 1800 මාර්තු මස මහනුවරට දූත ගමනක යෙදුණු මැක්ඩොවල් ඇතුලු පිරිවර, පිලිමතලව්ව ඇතුලු මහනුවර රාජධානියේ නිලධාරීන් විසින් පිළිගන්නා ලද්දේ ගන්නෝරුවේ තොටුපොළ ආසන්නයේ මහවැලි ගඟට වම් පස ඉවුරේ පිහිටි තානායමක දී ය.
Gannoruwa Bridge and Bodhi Tree
වර්තමානයේ, දියකපනා තොට යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ස්ථානය යි. [සිතියම බලන්න] දියකපනා තොට බෝධිය පිහිටා ඇත්තේ ගංගාවේ දකුණු ඉවුරේ ය. අප මේ කියන තානායම පිහිටියේ ඊට ම අනෙක් පස, ගංගාවෙන් වම් ඉවුරේ ය. එම වම් ඉවුරේ පිහිටි තැනිතලා භූමියෙන් තුන් පැත්තක් ම ගංගාවෙන් වට වී තිබෙන අතර උතුරු පැත්තට ගන්නෝරුව කන්ද මායිම් වෙයි. 1638 දී පෘතුගීසි හමුදාවක් සමූල ඝාතනය වූ ගන්නෝරුව සටන සිදු වූයේ ද මෙම භූමියේ බව සිතන්නට පිළිවන.
කෙසේ වෙතත් , මහනුවර රාජධානියට භූ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් වූ මෙම භූමිය, 1815 ට පසුව, ජෝන් ඩොයිලිගේ පුද්ගලික දේපලක් බවට පත් විය.
අමුණු 3 පෑල් 3 කුරුණි 8 ක් වශයෙන් වූ කුඹුරු ඉඩමක් ද, අමුණු 41 පෑල් 1 ක වපසරියෙන් යුත් කුඹුරු ඉඩමක් ද මෙම භූමියට අයත් වූ අතර, 'ගන්නෝරුව තැන්න' නමැති එකී, සමස්ත ඉඩම සඳහා මායිම් පහත පරිදි විය.
"දකුණේ බස්නාඉරට [නිරිත : South West] හුරුවෙන් ද, දකුණේ නැගෙනඉරට [ගිණිකොණ : South East] හුරුවෙන් ද, මාවැලි ගඟ වැටී ඇත. අනික් පැත්තට කදිම දැව දඬු තිබෙන ඉතා උස් කන්දක් ඇත. මෙම ඉඩම වැවිලි ආදියෙන් දිවුනු කරන වත්තකටවත්, එක්කෝ අලංකාරව පෙනීමට සාදා තිබෙන ගම්මැද්දකටවත් අතිසයින් ම යෝග්‍යව තිබෙනු ය."
ඩොයිලිගේ අභාවයෙන් පසුව, ඔහුගේ බූදලයක් බවට පත් වූ එම දේපල, 1824 අගෝස්තු 3 වැනි දා මහනුවර කච්චේරියේ පැවැති ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකුණා දමන ලදී.
මෙම ඉඩම, දැනට පුද්ගලික අයිතිකරුවන්ගෙන් තොර වූ දේපලකි. මහනුවර - ගන්නෝරුව මාර්ගය වැටී තිබෙන්නේ ද මෙම ඩොයිලිගේ ඉඩම මැදිනි. අදාළ ඉඩමේ මායිම් අනුව වර්තමාන Google මිනුමෙන් ගලපා බැලූ කල වර්ග කිලෝ මීටර් 0.35 කට ආසන්න අගයක් ගනී. එය අක්කර 90කට ආසන්න වේ. ඉහත සඳහන් වූ පැරැණි සාම්ප්‍රදායික අගයෙන් යුත් වපසරිය ද අක්කර 90කට වඩා මදක් වැඩි වන බව විශේෂයෙන් සඳහන් කරමි.
ඒ අනුව, ගන්නෝරුව පසු කරමින්, අප ගමන් කරන්නේ ජෝන් ඩොයිලිගේ ඉඩම මැදිනි!
සැ. යු. වපසරිය ගණනය ආසන්න වශයෙනි.
නිමේෂ තිවංකර සෙනෙවිපාල
Nimesha Thiwankara
Nimesha Thiwankara Senevipala
#srivikrama #unpublishedhistory #kandy #ithihasakatha


Comments
Post a Comment