ඩොයිලිගේ ඉඩම හරහා ගන්නෝරුවෙන් එතෙර වීම
ශ්‍රී වික්‍රම රාජසිංහ අල්ලා ගනු ලැබීමෙන් පසු, උඩරට පළාත් වල පාලනය සඳහා පත් කරනු ලැබූ කොමසාරිස් මණ්ඩලයේ, පළමු කොමසාරිස්වරයා මෙන් ම, උඩරට බ්‍රිතාන්‍ය නිත්‍ය නේවාසික නිලධාරියා වශයෙන් පත් වූ, ජෝන් ඩොයිලි 1824 මැයි මස 25 වැනි දා සත් කෝරලේ රාජකාරි ගමනක් අතරතුර ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මිය ගියේ ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 49 ක් වූ අතර, සියවස් ගණනාවක් නො නැසී පැවති ලක්දිව ස්වාධීනත්වය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටතට පත් කරන විට ඔහුගේ වයස අවුරුදු 41 ක් පමණක් විය. කෙසේ වෙතත්, කර්මාන්විත වූ මරණයට පත් වීමෙන් පසු, ඔහුගේ දේහය, ඔහුගේ පදිංචි ස්ථානය වූ, මහනුවර මහවාසල් ගොඩනැගිල්ල වෙත ගෙනැවිත් පසුව, ගැරිසන් සුසානයේ දී භූමදාන කරන ලදී. වර්ග අඩි කිහිපයක භූමියක් ඔහුට අදට ත් හිමි ව තිබේ. මා මේ කියන්නට යන්නේ, ඩොයිලිට හිමි ව තිබූ ඉඩමක් ගැන ය. ඩොයිලි මහනුවරට පැමිණීමෙන් පසු, නගර මායිමේ පිහිටි ඉතා ම වැදගත් ඉඩමක් තමන් සතු කර ගත්තේ ය. එය් පිහිටා තිබුණේ මහනුවර නගරයට පිවිසෙන ස්ථානයේ, ගන්නෝරුව තොටුපොළ ආසන්නයේ ය. 1800 මාර්තු මස මහනුවරට දූත ගමනක යෙදුණු මැක්ඩොවල් ඇතුලු පිරිවර, පිලිමතලව්ව ඇතුලු මහනුවර රාජධානියේ...