ලක්දිව භික්ෂු සංඝයා හිස්වැසුම් පැළැන්දා ද?

 ලක්දිව භික්ෂු සංඝයා හිස්වැසුම් පැළැන්දා ද?

====================================

බුරුමයේ අරි භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කලුපහණ පියරතන (Kalupahana Piyaratana) හිමියන් විසින් වැදගත් සදහනක් කර තිබූ අතර, ඊට අනුශාංගික වශයෙන් කෙටි සටහනක් එකතු කරමි.

බුරුමයේ ‘අරි’ නමින් හදුන්වන භික්ෂු සම්ප්‍රදාය තන්ත්‍රයානය පදනම් කරගත්තක් වන අතර, පියරතන හිමියන්ගේ ලිපියෙහි ඉස්මතු කර තිබූ වැදගත් කරුණක් වන්නේ, එම නිකායේ භික්ෂුන් විසින් හිස් වැසුම් පළදින බව යි. මෛත්‍රීය බෝසතුන් වන්දනා කරන ‘අරි’ යනුවෙන් හැදින්වෙන භික්ෂුන් පමණක් නොව, ජපානයේ ද මහායාන භික්ෂුන් හිස් වැසුම් භාවිත කිරීම සුලබ දසුනකි. එය ‘තෙංගායි’ (Tengai) යනුවෙන් හැදින්වෙයි. එය වියනු ලබන්නේ බට පතුරු වලිනි.

ලංකාවේ ද එවැනි හිස් වැසුම් පළදින භික්ෂු සම්ප්‍රදායක් පැවති බවට ඇතැම් මූලාශ්‍ර අනුසාරයෙන් පෙනී යයි.

වර්ෂ 1697 දී සිදු වූ දෙවැනි රක්ඛංග උපසම්පදාව සම්බන්ධයෙන් පවතින වැදගත් මූලාශ්‍රයක් වන, කඩදොර සන්නස මේ පිළිබදව වැදගත් තොරතුරක් ඉදිරිපත් කරයි.

“භුලෝකපුරන්දර වූ විමලධර්මසූරිය මහ රාජොත්තමයාණන් වහන්සේ තුන් රජෙහි සේනාව හා සමග මහත් පූජොත්සවයකින් මළුකම් පූජාව සිද්ධ වෙන අවස්ථාවේ දී මහ වාසලට දුක්ගැන සිටි ලබුතල ගනෙන් වහන්සේ උපසම්පදා ව භුවනෙකබාහු තෙරුන් වහන්සේ යැයි කියා රක්ඛගුවෙ තෙරුන් වහන්සේලා වදාරමින්, උන්වහන්සේලා පාවිච්චි කළ ශීර්ෂාලංකාරයක් ලැබී...”

මෙහි සදහන් වන පරිද්දෙන්, රක්ඛංග (Rakhain) හෙවත් වර්තමාන මියැන්මාරයේ අරකන් ප්‍රදේශයෙන් භික්ෂුන් වැඩමවා පිහිටුවන ලද දෙවැනි රක්ඛංග උපසම්පදාවෙහි දී රක්ඛංග තෙරුන් වහන්සේලා විසින් පාවිච්චි කළ ශීර්ෂාලංකාර හෙවත් හිස් පළදනා ලබුතල බුවනෙකබාහු තෙරුන් වහන්සේට හිමි වූ බව කියයි. 

පළමු වැනි රක්ඛංග උපසම්පදාව පිහිටුවන අවදියේ දී, එනම් 16 වැනි සියවසේ අග භාගයේ දී රක්ඛංග දේශයෙහි දෙවැනි ම්‍රෞඋක්-උ (Mrauk – U) යනුවෙන් හදුන්වන ලද රාජවංශයක් පැවති අතර, එහි පැවති බුදු සමය තන්ත්‍රයානයට වඩාත් නැඹුරු වූ බව පෙනෙන්නට තිබේ. 

මීට ම අදාළව, “බුද්ධ වර්ෂයෙන් දෙදාස් එක්ෂිය හතලින් පස් වනුයෙහි ගම්හානපෘතු පක්ෂ දවසක් පිරුණු පසු වෙසග අව සතවක ලත් සදු දවස (කඩදොර සන්නස)” එනම් ව්‍යවහාරික වර්ෂ 1602 දී මහවැලි තොටේ දී පිහිටුවන ලද පළමු රක්ඛංග උපසම්පදාව සම්බන්ධයෙන් යටිනුවර සූරියගොඩ විහාරයේ තිබෙන, අත්ලිපි කොමිසමේ ලියාපදිංචි වූ ලේඛනයක ඉතා වැදගත් සටහනක් මතු වෙයි.

“විමලධර්ම මහ රජාණන්ගේ දිවස් කරුණා ලබා මහවැලි ගංගා උදකෙ‍ාක්ෂෙප සීමායෙහි රක්ඛගු උපසම්පදා පිහිටවු තැනේදි රක්ඛගු දේශාන්තරයෙහි සිට වැඩමොවා සිටි නන්දිචක්ක තෙරුන්නාන්සේගේ ශීර්ෂාලංකාරය සූරියගොඩ විහාරේ  නායක උන්නාන්සේට ලැබී සරණංකර තෙරසාමීන්ගේ වට්ටෝරුවට අයිති වුණාය.”

ඒ කී පරිදි, පළමු රක්ඛංග උපසම්පදාවේ දී ද, රක්ඛංග භික්ෂුන් විසින් හිස් වැසුම් හෝ හිස් පළදනා ලංකාවේ භික්ෂු සංඝයාට හුරු කරන ලද බව පෙනේ. ඉහත කී පරිදි එකී හිස් වැසුම පසුව සරණංකර සංඝරාජයන් වහන්සේට අයිති වූ බව වැදගත් කරුණකි. වටකුරු හැඩයෙන් යුත්, ‘කරුප්පු තොප්පි’ ආකෘතිය අනුව නිම කරන ලද පැරැණි හිස් වැසුමක් තවමත් සූරියගොඩ විහාරයේ පවතියි.

මීට අතිරේක වශයෙන් 1814 දී ඇලෙක්ස් ඩී. ස්කොල්ටිකොෆ් (Alexei D. Scoltycoff) විසින් අදින ලද සිතුවමක, බුරුම සම්ප්‍රදායට අයත් යැයි හැගෙන හිස් වැසුමක් පැළද සිටින භික්ෂුවක් කුඩයක් යටින් යන අයුරු නිරූපණය කර තිබේ. (ඡායාරූපය බලන්න) ස්කොල්ටිකොෆ් සිතුවම් අදින වකවානුව, එනම් 19 වැනි සියවස වන විට, මෙම සම්ප්‍රදාය තරමක් හෝ ශේෂ වී පැවතියේ ද යන්න මේ සමග ඇති වන අනෙක් ගැටලුව යි. ස්කොල්ටිකොෆ් විසින් නිරූපිත හිස් වැස්ම, බුරුම භික්ෂුන්ගේ හිස් වැස්මකට මෙන් ම, මහනුවර අවදියේ මැදි හා පහළ ප්‍රභූන් විසින් භාවිත කළ ‘කරුප්පු තොප්පියට’ සමාන හැඩයක් ගන්නා බව නිරීක්ෂණය කළ හැකිය.

ස්කොල්ටිකොෆ්ගේ සිතුවම

සියම් උපසම්පදාවට පූර්වයෙහි, නායක පදවි සදහා විජිනිපත් පිළිගැන්වීමේ සම්ප්‍රදායක් නොපැවති බව මගේ වැටහීම යි. එසේ නම්, ඊට පූර්වයෙහි පැවති රක්ඛංග උපසම්පදාවෙහි දී නායක පදවි සදහා රක්ඛංග හිස් වැස්මක් හෝ පළදනාවක් දෙනු ලැබුවේ ද යන්න වෙන ම විමසිය යුතු කරුණකි. නොඑසේ නම්, යථොක්ත රක්ඛංග උපසම්පදා අවස්ථා දෙකෙහි දී ම, ලක්දිව භික්ෂුන් කෙරෙහි ශීර්ෂ පළදනා ලබා දෙන ලද්දේ කවර හේතුවක් නිසා දැයි සොයා බැලිය යුතුය. 

‘ගණින්නාන්සේලා’ යනුවෙන් හදුන්වන ලද භික්ෂු සංඝයා ඇත්ත වශයෙන් ම, උපසම්පදා රහිත අය ද, එසේ නොමැති නම්, මහායානික හෝ තන්ත්‍රයානික අදහස් දරන ලද පිරිසක් ද යන්න පිළිබදව වැදගත්, අමුද්‍රිත මූලාශ්‍ර ලේඛන දෙකක් අප විසින් පිටපත් කර ගෙන තිබේ. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 – 1739) සමයේ දී පෝයමළු විහාරයේ ගණනායක පදවිය දැරූ කොබ්බෑකඩුවේ ගණෙවොලින්, සතර දේවාල බස්නායක නිලමක්කාරකම ද, පුත්තලම් දිසාවනිය ද ලබා ගෙන කටයුතු කරන ලද අතර, පෙරහැරේ ද ගමන් කරන ලදී. එවැනි අවස්ථාවක උන් වහන්සේ, ශීර්ෂාලංකාර පළදා ගමන් කළ බව සදහන් වෙයි. 

තිබ්බත බෞද්ධ භික්ෂුන්, මහායාන සම්ප්‍රදාය අනුගමනය කරන අතර, විවිධ නිකායන්ට සහ තනතුරු වලට වෙන් වශයෙන් හිස් වැසුම් භාවිත කරනු ලබයි. Small Hats, Fan Shaped Hats, Pandit Hats සහ Lotus Hats වශයෙන් එහි විවිධත්වයක් පවතී.

ජපන් භික්ෂුවක්

මේ අනුව, 17 වැනි සියවසේ දී ලංකාවේ පැවතියේ ද, එවැනි සංඝ පදවි වලට අදාළව, හිස් වැසුම් පැළදීමේ සම්ප්‍රදායක් ද යන්න පිළිබදව සැකයක් ඇති වෙයි. වර්තමානයේ විජිනිපත වෙනුවට, රක්ඛංග උපසම්පදාවෙන් ලත් දායාදයක් වශයෙන් එය සැලකිය හැකි ද? ‘ශීර්ෂාලංකාරයක්’ යනුවෙන් කී පමණින්, එය හිස්වැස්මක් හෝ තොප්පියක් වැනි යමක් යැයි කිව හැකි ද? මා කල්පනා කරන්නේ, ලක්දිව බුද්ධ ශාසනයේ විකාශනය තුළ අපට මග හැරී ගිය විශේෂ කරුණු කෙතරම් ඇත් ද යන්න පිළිබදව යි. 


නිමේෂ තිවංකර සෙනවිපාල

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books