අටමස්ථාන සභාව, බෝ මලුවේ නායක පදවිය සහ අටමස්ථානාධිපති තනතුරු පත් කිරීමේ පිළිවෙල
පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ බෝමලුවේ විහාරාධිපති තනතුර සහ අටමස්ථානයේ නායක පදවිය වෙනුවෙන් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් තෝරා පත් කරගෙන ඇත. මෙම පත්කිරීම් ක්‍රමවේදය දීර්ඝ ඓතිහාසික පසුබිමක් සහිත වන අතර, එම ඓතිහාසික පසුබිම වෙනුවට, එම පදවියට පත් කිරීම් පිළිවෙල පිළිබඳ ව සංක්ෂේපයෙන් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ යි.
1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත යටතේ බෞද්ධ විහාරයන් හි පරිපාලනය සිදු කරන නිල දෙකක් පවතියි. එකක් විහාරාධිපති තනතුර යි. දෙවැන්න භාරකාර තනතුර යි. පනතේ 4(1) වගන්තිය යටතේ දේපල පරිපාලනය සඳහා භාරකරුවන් පත් කරනු ලැබිය හැකි සිද්ධස්ථාන හැරුණු කොට, සෙසු සියලු ම සිද්ධස්ථාන කෙරෙහි අදාළ වන්නේ පනතේ 4(2) වගන්තිය යි.
විහාර දේවාලගම් ආඥා පනත මගින් වෙසෙසි කොට දක්වනු ලබන සිද්ධස්ථාන තුනකි. ඒවා නම්, දළදා මාලිගාව, අටමස්ථානය සහ ශ්‍රීපාදස්ථානය යි. මෙම ස්ථාන ත්‍රිත්වය සඳහා භාරකරුවන් හෙවත් පරිපාලකයන් පත් කරගැනීමේ ක්‍රමවේද, 4(1) යටතේ ආවරණය වන සෙසු සිද්ධස්ථාන (විහාර/දේවාල) වලට වඩා වෙනස් ය.
ඉන්, අනුරාධපුර අටමස්ථානයේ භාරකාගර පදවිය සම්බන්ධව පනතේ 9 වන වගන්තිය අදාළ වෙයි. සෙසු සිද්ධස්ථාන මෙන් නොව, අටමස්ථානයේ පරිපාලනය සඳහා නියම වී තිබෙන භාරකාර තනතුර වනාහි සභාවකින් නියෝජනය වේ. කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ දී වන්නිවරුන්ගෙන් සමන්විත වූ සභාවක් මෙම සම්ප්‍රදායේ මූලාරම්භය වශයෙන් පෙනී යන නමුදු, එහි මුල් හැඩතල පනතට ඇතුළත් ව නැති බව නිරීක්ෂණය වෙයි.
මෙම අටමස්ථාන සභාව හෙවත් අටමස්ථානයේ භාරකරු වශයෙන් කටයුතු කරන සභාවට, හිමි නෛතික පුද්ගලභාවය නඩු තීන්දු කිහිපයකින් ම පිළිගෙන තිබෙන අතර, අටමස්ථානය සම්බන්ධයෙන් එම කමිටුව සතු ව ඇත්තේ විශාල පාලන හා පරිපාලනමය බලයකි.
මෙම කමිටුව තිදෙනෙකුගෙන් සමන්විත වෙයි.
1. බෝ මලුවේ නායක තෙරුන්නාන්සේ
2. නුවර වැව පවුලේ ප්‍රධානියා
3. නාමකරණයෙන් පත් වන තැනැත්තා
මින් පළමු තැනැත්තා වන බෝ මලුවේ නායක තෙරුන්නාන්සේ සහ නුවර වැව පවුලේ ප්‍රධානියා යනු ස්ථිර සහ නොවෙනස් සාමාජිකයන් දෙදෙනෙකි.
අපවත් වී වදාළ පල්ලේගම සිරිනිවාස හිමියන් විසින් දරන ලද්දේ මෙකී පළමු සාමාජිකයාගේ තත්ත්වය යි. සිරිත් ප්‍රකාර ව, උඩමලුව හෙවත් බෝ මලුවේ නායක තෙරුන්නාන්සේ වෙත අටමස්ථානාධිපති පදවිය හිමි වූ බව නඩු තීන්දු කිහිපයක දී ප්‍රකාශිත කටඋත්තර කිහිපයකින් පෙනේ.
දැනට නුවරවැව පවුලේ ම ලේ ඤාතීත්වයකින් පැමිණෙන බුලංකුලම පවුලේ කුල ප්‍රධානියා වන දොස්තර ජානක බුලංකුලම, එකී ස්ථිර ගිහි සාමාජිකත්වය දරනු ලබයි. ඊට ප්‍රථම ඔහුගේ පියා වූ මහින්ද බුලංකුලම එම සාමාජිකත්වය දැරීය.
නාමකරණයෙන් පත් වන තැනැත්තා පත් වනුයේ, මල්වතු මහානායක තෙරුන් වහන්සේ, අස්ගිරි මහානායක තෙරුන් වහන්සේ සහ ශ්‍රීපාදස්ථානාධිපති තෙරුන් වහන්සේ යන තිදෙනාගෙන් බහුතර කැමැත්ත අනුව සම්මත වන අයෙකි. මෙම තුන්වැන්නා වශයෙන් මෙතෙක් කල් කටයුතු කරන ලද්දේ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් වන අතර, සම්ප්‍රදාය පරිදි මෙම තුන්වැනි සාමාජිකයා බවට පත් වනුයේ ද රුවන්වැලි චෛත්‍යාරාමාධිපති හිමියන් ය. එසේ වුවත්, පනත අනුව මෙම තුන්වැන්නා වශයෙන් ද ගිහි සාමාජිකයෙකු පත් කිරීමට බාධාවක් නැත. ඒ කෙරෙහි වැදගත් වන්නේ අස්ගිරි - මල්වතු උභය විහාරයීය මහානායක හිමිවරුන්ගේ ත්, ශ්‍රීපාදස්ථානාධිපති හිමියන්ගේ ත් බහුතර කැමැත්ත පමණකි.
ඇත්ත වශයෙන් ම කියතොත්, විහාර දේවාලගම් ආඥා පනත යටතේ ආවරණ වන්නේ අටමස්ථාන කමිටුව ය. යට කී සාමාජිකයන් තිදෙනා අතරින්, බහුතර කැමැත්ත මත අටමස්ථාන සභාවේ සභාපතිවරයා පත් කරගැනීම සඳහා පනතේ විධිවිධාන පවතින අතර, අටමස්ථානාධිපති තනතුර සම්බන්ධයෙන් එහි සඳහන් වන්නේ නැත.
මෙම කමිටුව රැස් වීම සඳහා වන ගණපූරණය දෙදෙනෙකි. තීන්දු ගැනීමේ දී සභාපතිවරයාට තීරක ඡන්දයක් හිමි ය. 17/18 සියවස් හි නුවරවැව මහවන්නියා විසින් දරන ලද ප්‍රධානීත්වය සමඟ ආ සම්ප්‍රදාය අනුව, මෙම සභාවේ සභාපති තනතුර සෑම විටකම පාහේ දෙවැනි ගිහි සාමාජිකයා වන නුවරවැව පවුලේ ප්‍රධානියාට හිමි වී ඇත.
අටමස්ථානයට අයත් එකදු ස්ථානයක් සඳහා හෝ වෙන් වෙන් වශයෙන් විහාරාධිපතිවරු හෝ භාරකරුවන් නොමැත. කලින් කලට අටමස්ථානයට අයත් සිද්ධස්ථාන ලැයිස්තුව වෙනස් වී ඇතත්, වර්තමානයේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, අභයගිරිය, මිරිසවැටිය, ජේතවනාරාමය, ථූපාරාමය, ලංකාරාමය සහ ලෝවාමහාපාය යනාදි ස්ථාන ඊට ඇතුළත් වෙයි. මින් එකදු ස්ථානයක් සඳහා හෝ විහාරාධිපති හෝ භාරකරුවන් නොමැති අතර, සමස්තයක් වශයෙන් ස්ථාන අට ම තනි සිද්ධස්ථානයක් වශයෙන් ගෙන, යට කී අටමස්ථාන සභාව මගින් පාලනය වේ.
4(1) වගන්තිය යටතේ පාලනය වන සිද්ධස්ථානයක් වන අටමස්ථානයේ භාරකාරීත්වය, සභාවට පැවරෙන අතර, අටමස්ථානාධිපති හෝ විහාරාධිපති වශයෙන් තනතුරක් පනත යටතේ ඇතුළත් නොවේ. එම තනතුර සඳහා පත් වීම වනාහි, ලිඛිත නීතියකින් ආවරණය වන්නක් නොවන අතර, සාමාන්‍ය විහාරාධිපති තනතුරක් සඳහා කරනු ලබන පත්කිරීම ක්‍රමවේදයට යටත් නොවේ.
පසුගිය දා සිරිනිවාස හිමියන්ගේ අපවත් වීමෙන් පසුව, ඇත්ත වශයෙන් ම හිස් වූයේ බෝ මලුවේ නායක තෙරුන්වහන්සේ තනතුර යි. ඒ අනුව, සභාවේ පළමු සාමාජිකයාගේ හිස් වීම මත, ඉතිරි ව සිටියේ සාමාජිකයන් දෙදෙනා වන නුවරවැව ප්‍රධානියා සහ නම් කරන ලද සාමාජිකයා වශයෙන් කටයුතු කළ හේමරතන හිමියන් පමණි.
මෙහි දී පළමුකොට පිරැවිය යුතු පදවිය වන්නේ, පුරප්පාඩු ව තිබූ බෝමලුවේ නායක ඨානාන්තරය වන බැවින්, ගිහි සභාපතිවරයාගේ ඒකච්ඡන්දයෙන්, සභාවේ තුන් වැනි (නාමකරණයෙන් පත් ව සිටි) සාමාජිකයා ව සිටි හේමරතන හිමියන්, බෝ මලුවේ නායක පදවිය සඳහා පත් කරන ලදී. නීතියෙන් ආවරණය නොවන, සාම්ප්‍රදායික ඨානාන්තරයක් වන අටමස්ථානාධිපති තනතුර ද ඒ සමඟ උන්වහන්සේට හිමි වෙයි.
හේමරතන හිමියන් නව පදවියට පත් වීමෙන් පසු දැන් පුරප්පාඩු ව තිබෙන්නේ, මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන්ගේ සහ ශ්‍රීපාදස්ථානාධිපති හිමියන්ගේ ඡන්දයෙන් පත් වන තුන් වැනි සාමාජිකත්වය යි.
මෙතැනදී ද, සම්ප්‍රදාය ඉස්මතු වන අවස්ථාවක් පැනේ. එනම්, සිරිත් ප්‍රකාර ව, මෙම තුන් වැනි සාමාජිකත්වය සඳහා නම් කරනු ලැබෙන්නේ, බෝ මලුවට පමණක් දෙවැනි වන රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පදවිය උසුළන භික්ෂුන් වහන්සේ යි. එම පදවිය සඳහා යෝග්‍ය ජ්‍යෙෂ්ඨ භික්ෂුවක් පත් කිරීමේ බලය සිරිත් ප්‍රකාර ව ඇත්තේ, බෝ මලුවේ නායක හිමියන්ට ය.
ඒ අනුව, අභිනව බෝ මලුවේ නායක හිමියන් විසින්, සිය නිල කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරු ව, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී තනතුර සඳහා යෝග්‍ය ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේනමක පත් කළ යුතු ය. දැනට පවතින තත්ත්වය අනුව බොහෝ විට මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමි, රුවන්වැලි සෑය සඳහා පත් කෙරෙනු ඇත.
එයින් පසුව, මාසයක කාලයක් තුළ අටමස්ථාන සභාවේ තුන් වැනි සාමාජිකත්වය සඳහා අස්ගිරි, මල්වතු මහානායක හිමිවරුන්ගේ ත්, ශ්‍රීපාදස්ථානාධිපති හිමියන්ගේ ත් එකඟතාවයෙන්, උන්වහන්සේ පත් කෙරෙනු ඇත. එහෙත්, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හැර වෙනත්, බෝ මලුව සඟ පරපුරේ යෝග්‍ය භික්ෂුවක් ඒ සඳහා පත් කරන්නට බාධාවක් ද නැත. නමුත් සිරිත් ප්‍රකාර ව, එම තනතුර සඳහා පත් වන්නේ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියන් ය. එබැවින්, තුන්වැනි සාමාජිකයා පත් කරන්නට පළමුව, උඩ මලුවේ නායක පදවිය සම්පූර්ණ විය යුතු ය.
මෙම කාර්යයන් මසක් තුළ අවසන් කර, ඒ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැන්වීම අටමස්ථාන සභාවේ වගකීම වේ.
සාමාන්‍යයෙන් විහාරස්ථාන සඳහා භාරකරුවන් පත් කිරීමේ බලය පැවරෙන්නේ විහාරාධිපති හිමියන්ට වුවත්, අටමස්ථානය සම්බන්ධයෙන් එම තත්ත්වය වෙනස් වේ. අටමස්ථානයේ අධිපති තනතුර සඳහා පත් කිරීම සිදු කරනුයේ භාරකරුවා විසිනි. එය තවත් සුවිශේෂී වැදගත්මකි.
පනතේ යෙදෙන විධිවිධාන අනුව, මෙම නව පත් කිරීම් සිදු වන්නේ ත්, සිදු විය යුත්තේ ත් එසේ ය.
-------------
නිමේෂ තිවංකර සෙනෙවිපාල
සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස්තැන

Comments
Post a Comment