රුවන්වැලි සෑ ගර්භයට පිවිසෙන රහස් උමග

 රුවන්වැලි සෑ ගර්භයට පිවිසෙන රහස් උමග

=====================================

නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි.


ලංකාවේ පූජනීය ම දාගැබ හැටියට සැලකෙන, අනුරාධපුරේ රුවන්වැලි සෑය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ. දුටුගැමුණු සහ සද්ධාතිස්ස කියන රජවරු දෙන්නා ම මේ මහා සෑයේ ඉදිකිරීමට හවුල්. නිර්මාණ කාලයේ ඉඳන් ම, රුවන්වැලි සෑය එක්ක අපූරු සාහිත්‍යයක් ගොඩ නැගිලා තියෙනවා. ඒක සමහර විට අතිශයොක්තිය වගේ ම, සමහර විට සත්‍යය මත යි ගොඩනැගිල තියෙන්නෙ. 


රුවන්වැලි සෑයට පුදසත්කාර කරපු රජවරු අතර සුවිශේෂී ම කෙනෙක් තමයි, ක්‍රිස්තු පූර්ව 20 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 9 වෙනකම් රජ කරපු භාතිකාභය රජු. එතුමා, රුවන්වැලි සෑය අරභයා කරපු පුද පූජා ගැන වංසකථාවේ විශේෂ විස්තරයක් තියෙනවා. 



දවසක් භාතිකාභය රජ්ජුරුවෝ මහා සෑයේ, නැගෙනහිර දොරටුවෙන් සෑ මළුවට ඇතුළු වුණා. ඒ වෙද්දී කරුවල වැටිලා තිබුණා ලා. භාතිකාභය රජ්ජුරුවෝ ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කළා. මේ වෙලාවේ, රජ්ජුරුවන්ට ඇහුණා කිසියම් පිරිසක් මිහිරි හඩින් පිරිත් සජ්ඣායනා කරනවා. මේ පිරිත් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන් ද රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බැලුවා. පිරිත් කියන කෙනෙක් දකින්න නැහැ .කිසිම භික්ෂූන් වහන්සේ නමක් පෙනෙන්නත් නැහැ. හොඳින් කන් යොමු කරගෙන සිටිද්දී මේ පිරිත් හඩ ඇහෙන්නේ චෛත්‍යයේ ධාතු ගර්භයේ ඇතුළතින් කියලා රජතුමාට වැටහුණා.


රජතුමා නැගෙනහිර දොරටුව අසළ නැවතිලා චෛත්‍යයට වන්දනා කරගෙන අධිෂ්ඨානයක් කළා. "චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි පිරිත් සජ්ඣායනා කරන්නේ කවුද කියලා දැකගෙන මිසක් මම මෙතනින් නැගිටින්නෙ නැහැ. මම මේ ආකාරයේ ශ්‍රද්ධාවකින් උදේ හවස චෛත්‍යයට වන්දනා කරනවා; ඒ සත්‍යානුභාවයෙන් මට මේ සිදුවීම දැක ගන්න ලැබේවා!" කියලා රජතුමා අධිෂ්ඨානයක් කළා.


රජතුමාගේ ආනුභාවයෙන් ශක්‍ර දෙවියන් ගේ ආසනය උණු වෙන්න පටන් ගත්තා. සක්‍ර දෙවියන් හිත යොමුකරලා බැලුවා මොකක්ද කාරණය කියලා. ශක්‍ර දෙවියන් තව්තිසා දෙව්ලොව සිට වැඩම කොට රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය තුළ පිරිත් සජ්ඣායනා කරමින් සිටි සෘර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට ඒ බව දැනුම් දුන්නා. සෘර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා ධාතූ ගර්භය තුළට වැඩම කොට පිරිත් සජ්ඣායනා කරනවා. ඒ පිරිත් හඩ තමයි රජතුමාට අහන්න ලැබුණේ.


පිරිත් සජ්ඣායනා කරමින් සිටි රහතන් වහන්සේලා අතරින් එක් රහතන් වහසේ නමක් තවත් ඍර්ධිබල සම්පන්න තෙරුන් වහසේ නමකට පැවරුවා, චෛත්‍යය මළුවේ සිටින රජතුමා ගෙනවිත් ධාතු ගර්භය වන්දවන්න කියලා. ඒ රහතන් වහසේ සෘර්ධිබලයෙන් ධාතු ගර්භයෙන් එළියට ඇවිත් රජතුමාගේ අතින් අල්ලගෙන රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය ඇතුළට එක්කගෙන ගියා. රජතුමාගේ හිතේ හැටිය ධාතු ගර්භය වන්දනා කරගන්න සැලැසුවා. නැවත ආයෙමත් සලපතල මළුවට ගෙනවිත් ඇරලුවා. 


ඔය විදිහප භාතිකාභය රජ්ජුරුවෝ, මහා සෑය ඇතුළට ගියා'ය කියන උමඟ, 19 වැනි සියවස වෙනතුරු ම සෑ මළුවට පහළ මට්ටමකින් තිබිලා තියෙනවා. 


1835-40 කාලේ, මාතලේ ආණ්ඩුවේ ඒජන්ත හැටියට කටයුතු කරපු, මේජර් ෆෝබ්ස් (Major Forbes), ඔහුගේ Eleven Years in Ceylon (1841) ග්‍රන්ථයේ ඒ ගැන මෙහෙම ලියනවා.


"දාගැබේ පිටත ප්‍රාවරයේ සිට සැලකිය යුතු තරම් දුරකින් පිහිටියා වූ, සැදැහැවත් රජු 

(භාතිකතිස්ස) මෙන් ම, මාඝ නමැති අනුකම්පා විරහිත ආක්‍රමණිකයා, දාගැබ තුළට පිවිසීම සඳහා උපයෝගී කරගත් රහස් ද්වාරය වසා ඇතැයි සැලකෙන අඩි දොළහමාරක දිගින් හා අඩි නවයහමාරක පළලින් යුතු ගල් පුවරුවක්, පූජක තැන විසින් මා වෙත පෙන්වන ලදී. අපේ ගමනට සති කිහිපයකට පෙරාතුව මෙහි වැඩ සිටි උත්තම පූජකයා මරණයට පත් ව තිබුණි. අනුරාධපුරයේ සුදු හාමුදුරුවෝ යනුවෙන් හඳුන්වන ලද්දේ ඔහු ය. නටබුන් පෙන්වීම 

සඳහා මා සමඟ ගමන් කරන ලද්දේ ඔහුගේ ජ්‍යෙෂ්ඨ ම ශිෂ්‍යයා ය. මා සමඟ සිටි ආණ්ඩුවේ එජන්තතැනගේ නිර්දේශය මගින් සිය පූර්වගාමියාගේ අනුප්‍රාප්තිකයා වීමේ අපේක්ෂාවෙන් ඔහු පසු වුණේ ය. එබැවින්, මට නොපෙන්වා සිටින්නට තරම් රහසිගත කරුණක් ඔහු සතු නොවීය. සඟවන්නට තරම් වටිනා දෙයක් ද නොවීය. එබැවින් එකී රහසිගත පිවිසුම පිළිබඳව මා වෙත සන්නිවේදනය කරන ලදී. අනතුරුව මෙම ස්ථානයේ අනුප්‍රාප්තිකයා වීමට ඔහු තුළ පැවති අභිලාෂය සාක්ෂාත් වූ අතර, ඉන් පසුව කිසිදු යුරෝපීයයෙකු එම රහස් පිවිසුම පිළිබඳව සහ තවත් පුදුමාකාර ශුද්ධ ස්ථාන කිහිපයක් පිළිබඳව දැනුම්වත් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය."


ඒ වගේ ම, ලංකාණ්ඩුවේ යටත් විජිත මහලේකම් විදිහට කටයුතු කරපු ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් (Sir Emmerson Tennant), 1859 දී ඒ ගැන කියන්නේ මේ විදිහට.


"දාගැබේ අභ්‍යන්තරය නරඹනු පිණිස ප්‍රධාන පූජකයා විසින් භාතියතිස්ස රජු කැඳවාගෙන ගිය බව කියන භූගත මාර්ගයකට පිවිසෙන දොරටුවක් ද ඉදිරියෙන් ඇත."


එස්. එම්. බරෝස් (S. M. Burrows) විසින් 1894 දී පළ කරන Buried Cities of Ceylon හි කියන හැටියට, ම වෙනකොට අර තිබුණ උමඟ, අබලි ද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන් ම වහල දාලා, ඒ ගොඩැල්ල විතරක් තිබිලා තියෙනවා.


"දාගැබට මුහුණ ලා වන්දනා කරන ඉරියව්වෙන් නිරූපිත අනෙක් ප්‍රතිමාව, ක්‍රිස්තු වර්ෂ යුගය උදාවන විට රට පාලනය කළ භාතියතිස්ස රජුගේ යැයි සැලකේ. රුවන්වැලි සෑයේ අභ්‍යන්තරයට ගොස් එහි ගර්භගෘහය සියැසින් දැකබලාගැනීමට අවස්ථාව ලැබුණේ ඔහුට ය. පිටත බිත්තියේ දකුණු දිශාවේ සිට යාර හැටකට පමණ දුරින්, ශෛලමය නටබුන් යොදාගෙන වසා දමන ලද ගොඩැල්ලක් සහිත කුඩා වලක් තුළින් ගොස් මෙම ගර්භයට පිවිසීම සඳහා මග සලකුණු කර තිබුණේ යැයි කියනු ලැබේ."


දහනවවැනි සියවසින් පසු යළිත් මෙම උමං මග පිළිබඳව අසන්නට ලැබෙන්නේ නැත.


------

මුල් ලේඛනවලින් පරිවර්තනය කරන ලද්දේ ම'විසින් ම වන අතර, කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න.


නිමේෂ තිවංකර සෙනෙවිපාල 

Nimesha Thiwankara 

Nimesha Thiwankara II

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books