වසර පහක් වෙහෙස වී, මන්දාරම්පුර පුවතේ වෙනත් පිටපතක් සොයාගත් සැටි!

 වසර පහක් වෙහෙස වී, මන්දාරම්පුර පුවතේ වෙනත් පිටපතක් සොයාගත් සැටි! 

===================================

නිමේෂ තිවංකර සෙනෙවිපාල


නුවර යුගයේ අප්‍රධාන ධාරාවේ ඉතිහාසය ගවේශනය කරන ඕනෑම කෙනෙකු විසින් අනිවාර්යයෙන් ම පරිශීලනය කළ යුතු මූලාශ්‍රයක් වන මන්දාරම්පුර පුවත, විශ්වාසනීය මූලාශ්‍රයක් හැටියට යොදාගන්නට බැරි බවට ආචාර්ය කිත්සිරි මලල්ගොඩ කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙන මහාචාර්ය ගණනාථ ඔබේසේකර සමඟ කරපු සොයාබැලීමක් ගැන නන්දන වීරරත්න [Nandana Weerarathne] පසුගිය දා ක ලියලා තිබුණා. 


ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ මන්දාරම්පුර පුවත සංස්කරණය කරලා, 1958 දී පළ කළාට, ඊට පාදක කරගත්ත පිටපත් ගැන ප්‍රාමාණික ඉදිරිපත් කිරීමක් කරලා නැහැ. නමුත් ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ තමන්ගේ පොතට ලියන සංඥාපනයේ ලියනවා, පුස්කොළ පිටපත් හයක් විතර පරිශීලනය කරලා තමන් සංස්කරණය කරපු විස්තරයක්. උන්වහන්සේ පරිශීලනය කළා ය කියන පුස්කොළ පිටපත් තිබුණා ය කියන්නේ අස්ගිරි මහා විහාරයේ.  


සොයා ගනු ලැබූ කඩදාසි පිටපත


මන්දාරම්පුර පුවත ගැන මගේ උනන්දුව ඇති වුණේ 2010-11 කාලේ දී වගේ. 2011 දී වගේ ‘දා හතර වැනි සියවසේ දොර උලුවහු’ ගැන කරපු ‘ගම්පොළ දොරටු’ කියන ස්වාධින අධ්‍යයනයේ යෙදෙනකොට, උගතුන් කිහිපදෙනෙක් එක්ක ම මන්දාරම්පුර පුවතේ සත්‍යාසත්‍යතාව ගැන කතා කරන්න අවස්ථාව ලැබුණා. අපවත් වුණ මහාචාර්ය ධීරානන්ද හාමුදුරුවොත් එක්කෙනෙක්. උන්වහන්සේ ත් හඟුරන්කෙත පළාතේ කෙනෙක් නිසා ඔය කාරණය ගැන විශේෂ උනන්දුවකින් කතා කළා. 


උසස් පෙළ අවසන් වෙලා හිටපු කාලේ, ඒ කියන්නේ 2011-12 කාලයේ මහනුවර දළදා මාළිගාවේ ප්‍රාචීන පුස්තකාලයට නිතර යන පුරුද්දක් තිබුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරවාරයේ ම, 2012 දී විතර ඉඳන් ඒ පුස්තකාලයේ ම ව්‍යාපෘතියක් සඳහා කෙටි කාලයක් වැඩ කරන්න ත් අවස්ථාව උදා වුණා. ඔය කාලේත් මන්දාරම්පුර පුවත ගැන කුකුස දිගට ම හිතේ කොණක තිබුණ නිසා, පුස්කොළ පොත් දිග අරින හැම වෙලාවක ම ඒ ගැනත් මතකේ තිබුණා. 


2013 දී විතර මහාචාර්ය ගණනාථ ඔබේසේකර දැනහඳුනාගන්න ලැබිලා, එතුමාගේ නුවර ගෙදරට යන එනකොට දැනගන්න ලැබුණා එතුමා ත් මන්දාරම්පුර පුවතේ පිටපතක් සොයාගැනීමේ ආසාවකින් සහ උනන්දුවකින් පෙළෙනවා කියලා. මට මතක හැටියට ඒ වෙනකොටත් දයාසිසිර [Dayasisira Hewa Gamage] අයියා ත්, මහාචාර්ය ගණනාථ එක්ක ඔය ගැන සොයමිනු යි හිටියේ. නන්දන වීරරත්න ත් ඔය කාර්යයේ යෙදිලා, බොහෝ උත්සාහ කළත් ඵලක් නොවුණ තැන වැඩේ අතෑරලා දාපු බව දැනගන්න ලැබුණා. මහාචාර්ය කිත්සිරි මල්ලගොඩගේ ලිපිය ගැන අහන්න ලැබුණෙත්, කියවන්න ලැබුණෙත් ඔය අතරෙදි. 


ඔය අත්දැකීම් එක්ක මන්දාරම්පුර පුවත හොයන උනන්දුව තවත් වර්ධනය වුණා. මේ වෙනකොට පුස්කොළ පොත් තුන්දාහක් විතර අතපත ගාලා, ශාස්ත්‍රය ඇඟට බැහැලා තිබුණ නිසා, ඒ උනන්දුව ත් එක්ක දළදා මාළිගාවෙන් පිට ස්ථානවල මන්දාරම්පුර පුවත හොයන්න ආසාවක් ඇති වෙලා තිබුණා. ඒ වෙනකොට තිබුණ දැනඇඳුනුම්කම් මත කහවත්තේ හාමුදුරුවන්ගේ සම්බන්ධිකරණයෙන් අස්ගිරියේ මැද පන්සල, සාලියපුර විපස්සි හාමුදුරුවන්ගෙ මල්වත්තෙ වැලිවිට පන්සල කියන තැන් දෙකෙන් පටන් ගත්ත මේ කාර්යය අවුරුද්දක් ඇතුළත පන්සල් තිහකට වැඩි ගණනක් දක්වා කරගෙන යන්න පුලුවන් වුණා. ඔය අතර, සෙල්ලාවලී, හඟුරන්කෙත පොත්ගුල් මාළිගාව, සූරියගොඩ, ඉබ්බාගල, මීදුම, මාදන්වල, පුසුල්පිටිය, වෑගම, පරමාකන්ද වගේ පන්සල් ගණනාවක තිබුණ පොත් බලලා ඉවර වුණා. හැම පන්සලක ම බලපු පොත්වල ලැයිස්තුවක් හදන්නත් කටයුතු කළා. ඔය වැඩපිළිවෙල ඔහොම කරගෙන ගිය ත්, මන්දාරම්පුර පුවත තියා ළඟින් යන පොතක්වත් හම්බුණේ නැහැ. නමුත්, ඒ හා සමාන ම වැදගත්කමක් තියෙන අප්‍රකට, අමුද්‍රිත පුස්කොළ පොත් ගණනාවක් හොයාගන්න ත්, ඒවා ඡායාරූපගත කරගන්නත් අවස්ථාව ලැබුණා. 2014 වගේ වෙනකොට මට ම වැඩේ එපා වෙලා තිබුණා. සෑහෙන වියදමක් වගේ ම, සති අන්තවල සෑහෙන කාලයකුත් නාස්ති වෙලා තිබුණා. 


2014 මැද හරියේ දවසක, ප්‍රාචීන පුස්තකාලයේ තිබුණ පරණ ‘ශ්‍රී ලංකා සඟරා’ වගයක් නිකමට කියව කියව ඉන්නකොට අහම්බෙන් ඇසගැටුණා කවි කිහිපයක්. 


1951 ජූනි මාසේ ශ්‍රී ලංකා සඟරාවක, මන්දාරම්පුර පුවතේ 16 සහ 17 කවි දෙක ත් එක්ක තවත් කඩයිම් කවි හතක් පළ වෙලා තිබුණා, ‘පුරාණ උඩහේවාහැටට මායිම්’ කියලා ශීර්ෂයකුත් එක්ක. නුවරඑළි දිස්ත්‍රික්කයේ උඩහේවාහැට මානකොළ වසමේ විශ්‍රාමලත් ගම්මුලාදෑනි මහතා සතුව තිබුණු මේ කවි ටික, පළ කිරීම පිණිස සඟරාවට එවලා තිබුණේ මතුරට මාර්තුවෙල ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් හැටියට කටයුතු කරපු, වයි. ආර්. සර්නේලිස් යෝදසිංහ මහතා. 


තවදුරටත් හොයාගෙන යනකොට, තවත් කවි 9 ක් හොයාගන්න ලැබුණා, 1956 ඔක්තෝබර් මාසේ ශ්‍රී ලංකා සඟරාවේ තිබිලා. ඒ කවි නම් කරලා තිබුණේ ‘හේවාහැට’ කියන නමකින්. එතැන පළ වෙලා තිබුණේ, මන්දාරම්පුර පුවතේ ලබුගම ලංකානන්ද සංස්කරණයේ 16, 17, 18, 19, 20, 21, 22, 30 සහ 36 කියන කවි. මේ කවි, ශ්‍රී ලංකා සඟරාවට එවලා තිබුණේ දීගලහින්නේ උක්කුබණ්ඩා දිවාරත්න කියලා කෙනෙක්.


මේ සොයාගැනීමත් එක්ක එක කාරණයක් පැහැදිලි කරගන්න පුලුවන් වුණා. 

ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ මන්දාරම්පුර පුවත මුද්‍රණයෙන් පළ කරන්නේ 1958 දී. උන්වහන්සේ කියන හැටියට ඊට පාදක වෙන්නේ අස්ගිරි මහා විහාරයේ තිබුණු පිටපත් හයක්. 


නමුත්, ලබුගම හාමුදුරුවන්ගේ සංස්කරණය මුද්‍රණය කරන්න ත් අවුරුදු පහකට පහකට පෙරාතුව 1951 දී ත්, අවුරුද්දකට පෙරාතුව 1957 දී ත් මන්දාරම්පුර පුවතේ ඇතුළත් වෙන කවි කිහිපයක් ඒ අනුපිළිවෙලට ම පළ වෙලා තියෙනවා. 


ඔතැනින් පැහැදිලි කරගන්න පුලුවන් වුණ ප්‍රධාන ම කරුණ තමයි, මන්දාරම්පුර පුවත කියන්නේ ලබුගම ලංකානන්ද හාමුදුරුවන්ගෙ හිතලුවක් නෙවෙයි කියන කාරණය. 


උන්වහන්සේගේ ශාස්ත්‍රීය වෑයම අවතක්සේරු කරන එක අසාධාරණ යි කියලා මූලික ව තහවුරු කරගන්න මේ කාරණය ම ප්‍රමාණවත් බව මට ඒත්තු ගියා. 


මෙපමණ කාලයක් නිසි දිශානතියක් නැතුව පොත්ගුල් වල පොත් බැලුවාට, මේ ලැබුණ ඔත්තුවත් එක්ක සෑහෙන දෙයක් අත්පත් කරගන්න පුලුවන් වෙයි කියලා විශ්වාසයක් ලැබුණා. මේ 2014 අග හෝ 2015 මුල වගේ වෙන්න ඕන. 


උඩහේවාහැට මානකොළ වසමේ විශ්‍රාමලත් ගම්මුලාදෑනියාගේ නමක් ගමක් සඳහන් නොවුණ නිසා ඒ පුද්ගයාගෙන් පැවතෙන්නන් ගැන හොයන්න ගත්ත උත්සාහය අසාර්ථක වුණා. නමුත්, මතුරට මාර්තුවෙල ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් හැටියට කටයුතු කරපු, වයි. ආර්. සර්නේලිස් යෝදසිංහ මහත්තයාගෙන් පැවතෙන දෙතුන් දෙදෙනක් මුණගැහෙන්න අවස්ථාව ලැබුණා. ඒත්, සාම්ප්‍රදායික ගැමියෝ වුණ ඒ අය ‘මන්දාරම්පුර’ ගැන අහල තිබුණාට ‘පුවත’ ගැන අහලා තිබුණේ නෑ. ‘සීයාට අයිති පරණ පොත් තිබුණාය, ඒවා පස්සෙ කාලෙක කාට හරි දුන්නා ය’ කියන පොදු පිළිතුරෙන් විතරක් සෑහීමකට පත්වෙන්න මට සිද්ධ වුණා. 


ඊළඟට දීගලහින්නේ උක්කුබණ්ඩා දිවාරත්න මහතාගෙන් පැවතෙන්නන් ඉන්නවා ද කියලා හොයා බැලුවා. අතිශය දුෂ්කර ප්‍රදේශයක් වන එලමුල්ලට යන දවසේ සෑහෙන වැස්සක් තිබුණා. කොහොම හරි ග්‍රාම නිලධාරී සම්බන්ධ කරගෙන දිවාරත්න පවුලේ කිහිප දෙනෙක්ව ම හොයාගන්න හැකියාව ලැබුණා. 


මේ ‘දිවාරත්න’ පවුලට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මන්දාරම්පුර පුවතේ ම සඳහන් වෙන හැටියට, පළමුවැනි විමලධර්මසූරිය රජ්ජුරුවෝ ගිරි තාපසයා එක්ක කරපු යුද්ධයට ත් දිවාරත්න ලා සහභාගි වෙලා තියෙනවා. ඒ රාජ්‍ය සේවයට ප්‍රත්‍යුපකාර හැටියට සපුවින්න කියන ගම නින්දගමක් හැටියට ත්, හේවාවසම් වාසල නිලමක්කාරකම ත් ලැබෙනවා. ඊට අමතරව දෙවැනි රාජසිංහගේ ඕලන්ද සටනකට සහභාගි වෙලා වාසල මුදලි කියන නම ත් පටබැඳිලා තියෙනවා. මේ කුල පරම්පරාවෙන් පැවතෙන දිවාරත්නලා මුණගැහෙන්න අවස්ථාව ලැබුණා. ඔය පවුලේ වැඩිහරියක් දෙනා නුවරට, කොළඹට සහ කඩවත පැත්තට ගිහින් පදිංචිවෙලා ඉන්නවා කියලත් දැනගන්න ලැබුණා. 


දිවාරත්න ලා මුණගැහුණාට මන්දාරම්පුර පුවතක් ගැන ඒ කිසිකෙනෙක් අහලා තිබුණේ නැහැ. ඒ නිසා කඩදොර රජමහා විහාරයට යන්න සිද්ධ වුණා. ඒ වෙනකොට නායක හාමුදුරුවෝ හැටියට වැඩ හිටියේ උකුතුලේ සීලානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ මෑතක අපවත් වුණා. උන්වහන්සේ එක්ක කතා බහ කරනකොට එහෙන් මෙහෙන් තොරතුරු කිහිපයක් දැනගන්න ලැබුණා. නමුත්, ඒ කිසිවක් පිළිගත හැකි තොරතුරු නෙවෙයි. දවස් කිහිපයක් තිස්සේ වුණ මහන්සිය වතුරේ ගියාට පස්සේ ආපහු ගෙදර ආව ත්, හිත කියන්නෙ ම මන්දාරම්පුර පුවත තියෙන්න ම ඕන කියලා. 


කොහොම හරි දින කිහිපයකට පස්සේ උකුතුලේ සීලානන්ද හාමුදුරුවෝ කතා කරලා කිව්වා මන්දාරම්පුර පුවතේ කඩදාසි පිටපතක් උන්වහන්සේ ගාව තියෙනවා, බලන්න එන්න කියලා. කොහොමටත් මම විශ්වාස කළේ නෑ, ඇත්ත පිටපතක් උන්වහන්සේ ගාව ඇති කියලා. ඒකට එක හේතුවක් තමයි උන්වහන්සේගේ කතා බහ කරන ශෛලිය. 


කොහොම හරි ඒ වැඩේ වෙන දවසකට දාගෙන, ආපහු සති අන්තයක පදියපැලැල්ලට ගියා. ඒ වෙලාවෙදි කතා කරන්න ලැබුණා, ගාමිණී දිවාරත්න කියලා මහත්මයෙක් එක්ක. විශ්‍රාමික රජයේ නිලධාරියෙක්. අන්තිමට එතුමාගෙන් මට ලැබුණා කඩදාසි පොතක්. 

මෙපමණ කාලයක් හොයපු පොතේ පිටපතක්! ඇත්තෙන් ම කියනවා නම් අභ්‍යාස පොතක පෑනෙන් ලියපු කවි. 


‘පුස්කොළ පොතකින් උපුටාගත් පොතකින් උපුටාගන්නා ලදී. 1990 ජූලි 19’ 


කියලා ආරම්භ වෙන පොතේ, ඉහළින් ‘මඳරපුර පුවත’ කියලා ත් ලියලා තියෙනවා. 


මෙම අභ්‍යාස පොත් පිටපතට පාදක වුණ කඩදාසි පිටපත 1831 මාර්තු 5 වැනි දා ලියන ලද්දක් ය’ කියලත් ඒකේ වැඩිදුරට සඳහන් වෙනවා. 


ඒ මහත්මයා, පොත මට ම තියාගන්න කියලා භාරදුන්නා. 


ඔය ගමනට පහුවදා උකුතුලලේ සීලානන්ද හාමුදුරුවෝ මුණගැහුණා මහනුවර පොල්ගොල්ල කුල්ලකෙටුව පන්සලේ දී. උන්වහන්සේ ගාව තිබුණා තවත් කඩදාසි පිටපතක්. දිවාරත්න මහත්මයාගේ පොතට වඩා පැරණි පිටපතක්. ඒ පිටපතේ දාතම විදිහට දැක්වුණේ 1831 මාර්තු 5. 


කතන්දරේ පැහැදිලි යි. සීලානන්ද හාමුදුරුවෝ ගාව තියෙන පැරණි පිටපතෙන් බලාගෙන කරපු දෙවැනි පිටපත්කිරීමක් තමයි, දිවාරත්න මහත්මයා ගාව තියෙන්නේ. 


සීලානන්ද හාමුදුරුවන්ගේ පිටපත උන්වහන්සේ ගාව තියාගත්තා. කැමරාවකින් පිටපත් කරගන්න විතරයි අවස්ථාව ලැබුණේ. (පරණ දුරකථනය අස්ථානගත වුණ වෙලාවෙ මේ ඡායාරූප ටික අහිමි වුණා). අන්තිමට, දිවාරත්න මහත්මයාගෙන් ලැබුණ පිටපතත් උන්වහන්සේට ඕනෑ කියලා සෑහෙන කාලයක් මගේ පස්සෙන් ආවා. මන්දාරම්පුර පුවත හොය හොය හිටපු තවත් කිහිපදෙනෙක් මගිනුත් දිවාරත්න මහත්මයාගේ පිටපත ලබාගන්න සෑහෙන්න මාව වෙහෙසෙවුවා. ඡායාපිටපතක් දුන්නත් ප්‍රමාණවත් වුණේ නෑ. උන්නාන්සේ හිතාන හිටියේ දියතිලක කෝරළේ නිධන් වස්තු ගැන මන්දාරම්පුර පුවතේ තියෙනවා කියලා. 


1831 කඩදාසි පිටපත උන්වහන්සේ ගාව තිබුණත්, දැන් තියෙනවා ද කියලා කියන්න දන්නේ නැහැ. නමුත්, එම පිටපතෙන් 1990 දී අභ්‍යාස පොතකට පිටපත් කරපු කවි පොත මා සතුව තියෙනවා. 


අවුරුදු පහක කාලයක් තිස්සේ හොයපු ‘මන්දාරම්පුර පුවතේ පිටපතක්’ අවසානයේ හොයාගන්න අවස්ථාව ලැබුණා. 


මට මුණගැසුණු පිටපත් දෙකේ ම තියෙන්නේ කවි 243 ක් විතරයි. නමුත් ලබුගම ලංකානන්ද සංස්කරණයේ කවි 866 ක් තියෙනවා. නමුත්, මට ලැබුණු පිටපත අසම්පූර්ණ එකක් නෙවෙයි. ඒ කවි 243 මගින් ලබුගම ලංකානන්ද සංස්කරණයේ 375 කවිය වෙනකම් තියෙන කවි ආවරණය වෙනවා. ඒ කියන්නේ වික්‍රමාචාර්ය ලියපු, 1 සිට 4 වැනි අදියර දක්වා වන මුල් කර්තෘගේ සම්පූර්ණ කාර්යය ත්, උනම්බුවේ යතිගේ පළමු අදියරේ කොටසකුත්. 


මන්දාරම්පුර පුවතේ පළමු අදියරේ ඉඳන් මුල් අදියර හතර ම ලියලා තියෙන්නේ ‘හළුවඩන නිලය දරන විකුම් ඇදුරු’ හෙවත් ‘වික්‍රමාචාර්ය’ කියලා කෙනෙක්. එතැන් ඉඳන් ඉදිරි කොටස ගලගොඩ මැතිගේ ආරාධනයෙන් ‘උනම්බුවේ යති’ කියන හාමුදුරුනමක් ලියලා තියෙනවා. 

මට ලැබුණු පොතේ ඇතුළත් වෙන්නේ පස්වැනි අදියරේ මැදක් වෙනකම් ලියපු කවි විතරයි. ලබුගම හාමුදුරුවන්ගේ සංස්කරණයේ එන කවි එක්ක දිවාරත්නගෙ පිටපතේ එන කවි එකට සංසන්දනය කළා ම අන්තර්ගත කරුණුවල ලොකු වෙනස්කමක් නැතත්, කාව්‍ය භාෂාවේ සහ පද හා වචන අනුපිළිවෙලේ ලොකු වෙනස්කම් තියෙන තැන් හඳුනාගන්න ලැබෙනවා. ඒ වගේ ම සමාන විදිහට ලියැවුණ කවි ත් තියෙනවා. 


කොහොම නමුත්, ලබුගම ලංකානන්ද හාමුදුරුවන්ගේ හිතලුවක් මත මන්දාරම්පුර පුවත ලියවුණා ය කියන කතාව අසත්‍යයක් කරන්න හැකියාව ලැබුණා. මම හිතන හැටියට, 2020 දී අපවත් වුණ සීලානන්ද හාමුදුරුවන් ගාව තිබුණ කඩදාසි පිටපත ලබාගන්න පුලුවන් නම් තවත් ශාස්ත්‍රීය විදිහට මන්දාරම්පුර පුවත ගැන අපිට කතා කරන්න පුලුවන් වෙයි. 


Nimesha Thiwankara 

Nimesha Thiwankara II

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books