මහ වැදි රටේ කුකුළාපොල කිරිඅම්මාට යාදිනි
මහ වැදි රටේ කුකුළාපොල කිරිඅම්මාට යාදිනි
======================================
නිමේෂ තිවංකර සෙනෙවිපාල
නුවර කලාවිය වගේ ම, ඌව-වෙල්ලස්ස කියන්නෙත් ලාංකීය සභ්‍යත්වයේ තවත් එක් වැදුම්ගෙයක්. නුවර යුගය වෙනකොට, බින්තැන්නේ මහ වැදි රට, වෙල්ලස්ස, පානම් පත්තුව වගේ කෑලිවලට කැඩිල දිසාවනි, රටවනි හැදුණාට ඌව-වෙල්ලස්ස කියන, ලංකාද්වීපයේ අග්නි දිග මහා තැනිතලාව මුලු ඉතිහාසෙ පුරාවට ම ලංකාවේ ප්‍රාණ නාළිය වෙලා තිබුණා. අටසිය දහ අටේ දි සුද්දව දණගස්සපු සිංහලේ මහා කැරැල්ලට පණ දීපු කරුමෙට යාය ගණන් කෙත් වතු ගිනි ලා ලා විනාස නොකරන්න, අද වෙනකොට ලංකාවෙ සශ්‍රීක ම භූමිභාගය වෙන්න තිබුණෙ ඌව වෙල්ලස්ස.
ඌව වෙල්ලස්සේ, කොතැන බිම හෑරුවත් මතු වෙන්නේ ඉතිහාසය. ගහක් ගලක් ගානෙ ජනකතා ජනශ්‍රැති විතරක් නෙවෙයි, දෙවි දේවතාවොත් වැහි වැහැල. බණ්ඩාර හැටහත් කට්ටුවට වලංගු කෙරෙන බොහොමයක් දෙවිගොල්ල වැඩවසන්නෙත් මේ භූමි භාගයේ. ඌව වෙල්ලස්ස කියන්නෙ ම මහා පින්වන්ත පොළොවක්!
ඌව වෙල්ලස්සෙ ඉන්නව කිරිඅම්මල හත් දෙනෙක්. ඉඳිගොල්ලේ කිරිඅම්මා, උනාපානේ කිරිඅම්මා, කන්දේ කිරිඅම්මා, දිවැස් කිරිඅම්මා, වෙල්ලස්සේ කිරිඅම්මා, බිලි කිරිඅම්මා සහ කුකුළාපොල කිරිඅම්මා කියල හඳුන්වන්නෙ ඒ ඇත්තිලාව. මේ හත්දෙනාගෙන් අන්තිමට කියවෙන, කුකුළාපොල කිරිඅම්මා කියන්නෙ, කුවණ්ණාව කියල පිළිගැන්මක් තියෙනවා.
මේ කියන කුකුළාපොල තියෙන්නෙ මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසෙ. මහ වැදි රටේ, කිරි කොරහ නටනකොට වගේ ම, ඌව වෙල්ලස්සෙ කිරි අම්මා දාන පවත්වනකොටත් උඩ සඳහන් කරපු කිරිඅම්මාල හත් දෙනාට පුද සත්කාර පවත්වනව. හියු නෙවිල් එකතුවේ එන, "කිරි කොරහෙ කවි" වල වෙල්ලස්සේ කිරිඅම්මල ගැන මෙහෙම කියනවා.
උපන් ගමයි කිරි අම්මගේ වැදිරට
සපත් කමින් ඇවිදින් දැන් මේ රට
දීපන් පට පඬුරුත් කිරි කොරහට
සැල කරපන් මේ වග කිරි අම්මාට
වෙල්ලස්‌සට අණසක පවතිනවා
මල්වත්තට දෙවි බැල්ම හෙලනවා
හිසේ සුදූ මල් ගෙන පළඳිනවා
වෙල්ලස්‌සේ කිරි අම්මා එනවා
හඳුන් කුමාරි නුඹෙ කිරිඅම්මා
කන්ද කුමාරි මතු බුදු වෙම්මා
වෙල්ලස්‌සෙන් දළුමුර ගෙන අම්මා
හඳුන් කුමාරි වැඩිය ද අම්මා
සොරබොර වැව බන්දලා සොඳ ලෙසට
වැද්දෝ මුර ජාම කරවති සොඳ ලෙසට
සොරබොර වැවෙන් පැන් ගෙන යති පිරිවරට
සොර බොර වැවේ වැඩ සිටි කුමරු කොයි රට
කුකුළාපොල තලමල පිපුණා වාගේ
බිංතැන්නේ රජකම ගත්තා වාගේ
කිරි ඉතිරෙන්නට රට සිව් බාගේ
කුකුළාපොල කිරි අම්මාත් සොබාගේ
වෙල්ලස්‌සේ හිමි රට පරවෙනියා
එම මැද්දේ මල බුලතට කැමතියා
ගඟ මැද්දේ තැලුණය අත වැරැදියා
වෙල්ලස්‌සේ රජු නිති අප රැකියා
මේ කවිවල කියන හැටියට, වෙල්ලස්ස, බින්තැන්න රටවල පුද ලබන කුකුළාපොල කිරිඅම්මා කියන්නෙ පත්තිනි මෑණියන්ගෙ අවතාරයක්. පත්තිනි අවතාර ලංකාවෙ හැම පැත්තක ම වගේ එක එක නම්වලින් අදටත් පුද සත්කාර ලබනවා.
ගුණදාස කපුගේ සූරීන් ගායනා කරපු ගීතයක ත්, කුකුළාපොල කිරිඅම්මා ගැන සඳහන් වෙනවා මේ විදිහට.
කුකුළාපොළ කිරි අම්මියෙ
නුඹෙ උණුහුම කොයි
මේ පැටවුන් එක්කල මම
කොයි අහ යන්දැයි
නිවැරැද්දේ අපට මෙහෙම
පිටු පෑවේ ඇයි
කුකුළාපොළ කිරි අම්මියෙ
නුඹෙ උණුහුම කොයි
සංහිඳ හෙවණේ වෑ තෙර
බෝ රුක මුදුනේ
ගල් වැව් මණ්ඩියෙ නිතර
නුඹ වැඩ උන්නේ
කොයි සිට බැලුවත් අම්මේ
දුරට පෙනෙන්නේ
රන්කොත වැන්නේ නුඹ ගණ
රන් කොත වැන්නේ
යකඩ ඇතුන්නේ බිරුසන්
හඬ ගුගුරන්නේ
රුක් දෙවියන්නේ මුල්
සිඳිලා වැතිරෙන්නේ
ඉඳිකඩ අයිනේ සෙයිලම
ළඟ ළඟ එන්නේ
තුන් යම හීනෙන් විතරයි
නුඹ ළඟ අම්මේ
ඌව වෙල්ලස්ස දිසාවෙ සිද්ධවෙන මහා වන විනාශය ගැන, වෙල්ලස්ස, බින්තැන්නේ මිනිස්සු සෝළි කියන්නෙ, කුකුළාපොල කිරිඅම්මාට. වැදි රැහේ පුද ලබන මහලොකු අක්කා කියන්නෙත් මේ කුකුළාපොල කිරිඅම්මාට ම කියලත් විශ්වාසයක් තියෙනවා.
1804 කපිතාන් ආතර් ජොන්ස්ටන්, මඩකලපුවේ ඉඳන් නුවර ආපු පාර හොයාගෙන ගිය අවුරුද්දෙ මම ඇකිරියන්කුඹුරෙ ඉඳන් කුකුළාපොලට ආවා. ජොන්ස්ටන්ගේ ගමන් මග ගැන ජේ. පී. ලුවිස් ලියපු අනුමාන සටහනක් විශ්වාස කරල මේ ඉසව්වට ආවාට, එහෙදි තේරුණා ලුවිස්ට බරපතල වැරැද්දක් වෙලා තියෙනවා කියලා. ජොන්ස්ටන් ආපු පාර ඇකිරියන්කුඹුර පැත්තෙන් වැටිල නෑ. ජොන්ස්ටන් මහියංගනේට එන්නේ ඌරණිය පැත්තෙන්. කොහොම හරි ඔය ගමනෙදි මට කුකුළාපොල කිරිඅම්මා ගැන හොඳහැටි දන්න දෙතුන් දෙනෙක් මුණගැහුණ. මතක හැටියට ඒ වෑවත්තෙ දි. අහම්බෙන් යන්න ලැබුණ කිරිඅම්මා දානෙක දි ප්‍රාදේශීය වශයෙන් ගැයෙන කවි වගයකුත් පටිගත කරගන්න පුලුවන් වුණා.
කුකුළාපොල කිරිඅම්මගෙ බලය සහ අනුහස් මහ වැදිරට, වෙල්ලස්ස විතරක් නෙවෙයි බින්තැන්න, පානම් පත්තුව දිහාටත් විහිදිල තියෙනවා. වැදි රැහේ නෑයකුන් වන්දනාව එක්ක ආව කුවේණි ඇදහිල්ල, පහු කාලෙක කුවේණි එක්ක ගැලපිලා, කුකුළාපොල කිරිඅම්මා හැටියට ව්‍යවහාර වෙන්න ඇති කියල යි මට හිතෙන්නේ. විජය පැන්නුවට පස්සෙ කුවේණි යක් රැහෙන් මැරුම් කෑවත්, ජීවහත්ථ යි දිසාලා යි කියන දරු දෙන්න මහ වැදි රටට ඇවිල්ල අලුත් වරිගයක් බිහි කරා' ය කියන විශ්වාසය ත් මේකට ම ඈඳන්න පුලුවන්. කුකුළාපොල කිරිඅම්මා විදිහට ප්‍රසිද්ධ වුණේ තමන්ගෙ දරු දෙන්නට ආදරෙන්, උන්ගෙ ආරක්ෂාවට ආපු කුවේණිගෙ අවතාරෙ කියල ත් කියනව. ඒත් ඒ නිකම් නෙවෙයි, පත්තිනි මෑණියෝ වෙනුවෙන් පුද ලබන වරම ලබාගත්තු දේවතාවියක් හැටියට.
ඉතින් කිරිඅම්මා කෙනෙක් හැටියට, යහපත් දරුඵල ලබාගන්න, වසංගත උපද්‍රව දුරු කරන්න, ගොවි බිම් සශ්‍රීක කරන්න, යහපත බලාපොරොත්තු වෙන උදවිය, කුකුළාපොල කිරිඅම්මාට පුද සත්කාර කරනවා, පින්පෙත් අනුමෝදන් කරනවා, බාරහාර වෙනවා, කිරි උතුරවනවා, කන්නලව් කරනවා. ජන ඇදහිල්ලෙ හැටියට, කුකුළාපොල කිරිඅම්මා තාම යහතින් වැඩ වසනවා.
ඔය තමා කෙටියෙන් කියපු පසුබිම් කතාව. දැන් හැරෙමු ප්‍රස්තුතය දිහාවට!
නිලක්ෂි හැලපිටිය, අපූරු ගීතයක් ගායනා කරල තියෙනවා, මේ කුකුළාපොල කිරිඅම්මා පදනම් කරගෙන.
කුකුළාපොළ කිරි අම්මේ
නුඹ කොයි අහ දෝ
තිඹිරිගෙදර බිතක්කනේ
අඬමුර නෑසේ දෝ
මයෙ කෙලී ගේ බාර හාර
යාදිනි මදි දෝ
හත් අවුරුදු නැදිවග පල
පූදින කල මැකුණේ
සනුහරේට පුතු පැටියෙක්
දෙන්නයි දූ යැද්දේ
වනේ කොටා විළි රෑණට
දුක හිර කර තිව්වේ
උලලේනිය තල මල දැක
ඇයි ගංකරෙ හැඬුවේ
හත් දවසක් සංහිඳ ළඟ
පිදූ පිදුම් බාර ගන්ට
ඇවිලෙන ළැම දුක් ගින්දර
පවු අරවා නිවා ලන්ට
බාල බිළිඳු හඬනා හඬ
බර හෑල්ලුව පතුරුවන්ට
කුකුළාපොළ කිරි අම්මේ
සාප අතැර දූ රකින්නේ
ගීතයේ ප්‍රස්තුතය:
ඌව වෙල්ලස්සේ සම්ප්‍රදායික පවුල් දෙකක් අතර සිදු වූ හිර ගනුදෙණුවකි. විවාහයෙන් කලක් ගිය ද තරුණියට දරු ඵල නැත. ඒ නිසා ම නැන්දණියගේ නොයෙක් පීඩාවන්ට ලක්වන්නට ඇයට සිදු වේ. කෙසේ හෝ දරු ඵල පිහිටා, ඒ අවසන දරු ප්‍රසූතිය එළඹෙයි. එහිදී විලිරුජා උග්‍ර වීමෙන් ඇය බලවත් පීඩාවට පත් වේ. මෙම තත්වයෙන් ඇයට ත් වඩා තැවුලට පත් වන්නේ ඇගේ මෑණියන් ය. එතැන දී ද ප්‍රමුඛ වන්නේ දරු දුක ය. මෑණියන් හඬා වැලපෙමින්, පනම් බැඳි
ගහක් යට කුකුළාපොල කිරිඅම්මාට යාදිනි කරන්නේ, සිය දියණිය ත්, ඈට උපදින දරුවා ත් මනා සේ ආරක්ෂා කර දෙන ලෙසිනි.
මම ගීතයේ රූප රචනාව ගැන කතා නො කරමි. ඉන් මේ සටහන දීර්ඝ ලියැවිල්ලක් වනු ඇත. එබැවින්, පද මාලාව ගැන පමණක් අවධානය යොදවමි.
ඌව වෙල්ලස්සේ ඇතැමෙක් තවමත් සාම්ප්‍රදායික ජීවන රටාවකට හා සංස්කෘතික ප්‍රවාහයකට ලඝු වූවෝ වෙති. ස්ත්‍රිය, විවාහය, දරුඵල යනාදිය සංස්කෘතික හා ආර්ථිකමය රාමුවක් යටතේ අර්ථගැන්වීම මෙවැනි සන්දර්භයක පොදු කරුණකි. එබැවින්, දරුවෙකු නොමැති කාන්තාවට හිමිවන්නේ ගර්හිත ප්‍රතිචාර ය. එවැනි සමාජයක, දරු ඵල නො මැති කාන්තාවකට පිහිට සලසන්නේ දෙවි දේවතාවුන් පමණ ය. මිථ්‍යාවන් යැයි සලකා පිළිකෙව් කරන්නට පළමුව, එකී දෙවි දේවතාවුන් ගැන අප නැවත වරක් කල්පනා කර බැලිය යුත්තේ එබැවිනි.
කෙසේ වෙතත්, දරු ඵල පිහිටා, අනතුරුව එළඹෙන වැදුම් දිනය දා බරපතල තැතිගැන්මක් ඇගේ මවට ඇති කරවයි.
වනේ කොටා විළි රෑණට
දුක හිර කර තිව්වේ
උලලේනිය තල මල දැක
ඇයි ගංකරෙ හැඬුවේ
ප්‍රසූත වේදනාව හෙවත්, විලිරුජා සංසිඳවා ගනු පිණිස වනේ හෙවත් වංගෙඩියේ කෙටීම ත්, විලිරෑන හෙවත් බාල්කයේ එල්ලන ලද වරපට ඇදීමත් පැරණි සිරිතකි. පැරණි ඉහළ සහ මධ්‍යම පාන්තික ගෙවල්වල වැදුම්ගේ වශයෙන් වෙන් කරන ලද කුටියක් තිබුණි.
දියණිය විලිරුදාවෙන් පරිපීඩිත වෙද්දී, දාරක ප්‍රේමයෙන් සහ දියණියගේ ජීවිත අවදානම පිළිබඳ බියට සහ තැතිගැන්මට පත් වන මව, වහා දිව යන්නේ කුකුළාපොල කිරිඅම්මාගේ පිහිට යැදීම සඳහා ය. මේ අව්අස්සේ, තලමලක් පිපී තිබීම, උලලේනෙකු හැඬීම ආදි අසුබ නිමිතවලින් ඈ ඔද්දල් ව සිටී.
හත් දවසක් සංහිඳ ළඟ
පිදූ පිදුම් බාර ගන්ට
ඇවිලෙන ළැම දුක් ගින්දර
පවු අරවා නිවා ලන්ට
බාල බිළිඳු හඬනා හඬ
බර හෑල්ලුව පතුරුවන්ට
කුකුළාපොළ කිරි අම්මේ
සාප අතැර දූ රකින්නේ
එකී අවදානමෙන් සිය දියණිය ත්, ඇගේ දරුවා ත දෙදෙනා ම එකට බේරා දෙන මෙන් කුකුළාපොල කිරිඅම්මා වෙතින් ඉල්ලා සිටින ඈ, සංහිඳ ළඟ හත් දිනක් කිරි උතුරා පුද සත්කාර පවත්වන්නට බාරහාර වෙයි.
වෙනස් සහ දුලබ අනුභූතින් ඔස්සේ ගී මැවීම නිලක්ෂි අක්කා (Nilakshi Helapitiya) ට ත්, සමන් අයියා (Saman Lenin) ට ත් ආවේණික ලක්ෂණයකි. මෙය ද එසේ මැ යි. පද රචනා කළ පුබුදු චින්තක (Pubudu Chintaka) කර තිබෙන්නේ ද එසේ මෙසේ සැනකෙළියක් නො වේ. පද රචනය ම කදිම පර්යේෂණයක් වැන්න.
හඬ, නද, පද සේ ම, දිසි රූ ද අනගි තැනක ඇති, මෙවන් නිමැවුම් දුටු කල, මෙවන් අවිචාර සමයක වුව රට ත්, එහි සංස්කෘතික හර පද්ධතිය ත් ගැන සිතට නැඟෙන්නේ බලවත් ප්‍රේමය කි.
දායක වූ සියල්ලන්ට ම තුති!
ගීතයේ දිගුව සඳහා ප්‍රතිචාර තීරුව බලන්න.
---
නිමේෂ තිවංකර සෙනෙවිපාල

Comments
Post a Comment