ජෝන් ඩොවිල් මුදියන්සේලාගේ වික්‍රමසිංහ

 ජෝන් ඩොවිල් මුදියන්සේලාගේ වික්‍රමසිංහ 

==================================





1815 මාර්තු මාසෙ දෙ වැනි දා, සුද්දා ගිවිසුමකින් උඩරට යටත් කරගත්තේ උන්ගේ දක්ෂතාවයක් නිසා ම නෙවෙයි. ඒකට අප්‍රකට පසුබිමක් තියෙනවා. 


1815 පෙබරවාරි මාසෙ ඇහැලේපොළ, වලපනේ දි උඩරට රදල ප්‍රධානීන් කිහිපදෙනෙක් එකතු කරගෙන පවත්වනවා එක්තරා රැස්වීමක්. මේකෙදි ඇහැලේපොළ, ස්ථිරව ම කියනවා, සුද්දාට නුවරට එන්න උපකාර කරන්ඩෙය, ඊටපස්සෙ පිලිමතලව්වෙ 1803 දි හිතාන හිටපු හැටියට තමන් සුද්දගෙන් ආණ්ඩුබලය අත්පත් කරගන්න කටයුතු කරනවාය කියලා. මේ විස්තරේ තියෙන, මෙතෙක් අප්‍රසිද්ධ ව තිබුණ ලිපිය තව ටික දවසකින් ප්‍රකාශයට පත් කරන්න හිතාගෙන ඉන්න නිසා දැන් ම වැඩි විස්තරයක් කියන්නෙ නෑ මෙතැන. එතැන දි මොඬරුවිල, දස්කර, මඩුගල්ල, උනම්බුව, පිලිමතලව්ව, ගලගම, මොල්ලිගොඩ, ඇල්ලේපොළ, ගිරාගම, පලිපාන වගේ කණ්ඩායමක් රැස් වෙලා රහසිගත ව තීරණය කරනවා, උඩරටට ඇතුලු වෙන්න සුද්දට ඉඩ දීලා, රජ්ජුරුවන්ව බලයෙන් පහ කරලා, සුද්දගෙ ආධාර ඇතුව පිහිටුවන සිංහල ආණ්ඩුවේ සාමන්තයා හැටියට ඇහැලේපොළ ව පත් කරන්න. සාමන්ත පාලනය ටික දවසක් කරගෙන ගිහින් මාස හයකට පස්සේ සුද්දට ගහල පන්නන්නත් උඩරට නායකයො තීන්දු කරනවා. මෙතැනදි ගන්න වැදගත් තීරණයක් තමා පත් කරන්න හිතාන ඉන්න අලුත් ආණ්ඩුවේ දෙවැනි රජ්ජුරුවෝ කියල අලුත් තනතුරක් හදන්න කරන යෝජනාව. ඒ වෙනකොටත්, කන්දේ දෙවැනි රජ්ජුරුවො හැටියට, ශ්‍රී වික්‍රම රාජසිංහ විසින් ඇහැලේපොළ ව හඳුන්වලා තිබ්බා. අලුත් යෝජනාව තමා, රජ්ජුරුවන්ට පස්සෙ, දෙවැනි රජ කියල අලුත් තනතුර සම්මත කරන්න යි, මහාදිකාරම ඇතුළුව අදිකාරම් තනතුරු තුනක් ඇති කරන්න ඇති කරගත්ත සම්මුතිය. මේ සාකච්ඡාවේ ඇති කරගත්ත සම්මුතිය තල්පතක සීට්ටුවක් හැටියට ලියවෙනවා. 


මේ විදහට, සුද්දාව ඇමක් හැටියට යොදාගෙන ශ්‍රී වික්‍රම පන්නල අලුත් රාජාණ්ඩුවක් හදාගෙන, ඊටපස්සෙ සුද්දවත් පන්නල ස්වාධීන වෙන්නයි උඩරට රදලයො තීරණය කරන්නේ.


විපක්ෂයේ සියලු පක්ෂ පාර්ශ්ව එකට එකතුවෙලා කරපු ආණ්ඩු විරෝධී අරගලයත් මේ වගේ ම තමා. ඊට පස්සෙ කරන්නෙ මොකක්ද කියලා වැටහීමක් තිබුණේ නෑ කාටවත් ම.


කොහොම හරි, උඩරට රදලයන්ගෙ සැලැස්ම සුද්දාට දැන ගන්න ලැබෙන්න ඇති කියලා මට හිතෙනවා. 1815 ගිවිසුමේ කරුණු ගැන උඩරට ප්‍රධානීන් අතර තනි සම්මුතියක් නැතත්, උන්නැහේ ල ඒක ඒ හැටි ගානකට ගන් නැතුව ඇස් වහගෙන අත්සන් කරන්නේ, තව ටික දවසකින් තොපිට කොහොමත් නෙලනවනෙ කියල හිතාගෙන.


ඩොයිලිව නුවර නතර කරන්න ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කරන්නේ මේ කුමන්ත්‍රණය දැන දැනගත්ත නිසා වෙන්න පුලුවන්. මේ තීරණයට උඩරට රදලයො කැමති වෙන්නේ නෑ. කොහොම වුණත්, ඉංග්‍රීසි ආණ්ඩුවෙන් දෙන පත්කිරීම් හැම එකා ම බාර ගන්නවා. ඇහැලේපොළ, යුවරාජ, එහෙමත් නැත්තම් දෙවැනි රජ තනතුර බලාපොරොත්තු වෙනවා. නමුත් ඩොයිලි කරන්නේ, ඇහැලේපොළට කිසිම තනතුරක් නො දී, තිබුණ බලතල ත් අයින් කරලා පැත්තකට කරන එක.


ඇහැලේපොළට වඩා පහළ හිටපු මොල්ලිගොඩට මහාදකාරම් තනතුර දෙනවා. අර කුමන්ත්‍රණ සාකච්ඡාවෙ හිටපු හැමෝටම තනතුරු දෙනවා. මේ තත්වය නිසා ඉච්ඡාභංගත්වයට පත් වෙන ඇහැලේපොළ බලහත්කාරයෙන් මහනඩුවට ගිහින් වාඩි වෙන්න උත්සාහ කරනවා. හැබැයි මොල්ලිගොඩ නියෝග කරනවා එලියට ඇදල දාන්න කියලා. මහනුවර අධිකරණ වාර්තාවල මේ සම්බන්ධ නඩුව තියෙනවා. ඔය සිද්ධිය ආරංචි වුණ, ඇහැලේපොළගෙ අසල්වැසියැ වෙච්ච, ශ්‍රී වික්‍රමගේ වෙදැදුරා ඇහැලේපොළගෙ මූණටම කියනව, රටක් ගන්න ගිහින් ගමත් නැති කරගත්තා කියලා.


ඔය විදිහට අර මුල් සාකච්චාව කරද්දි තිබුණ සමගිය, එකඟතා බිඳ වැටිලා ඇහැලේපොළගෙ නායකත්වය සහ ජ්‍යෙෂ්ඨත්වය අවලංගු වෙනවා. 


හැම එකා ම උත්සාහ කරනවා බලය අල්ලන්න. මොණරවිල, මඩුගල්ල, පිලිමතලව්ව, ඇල්ලේපොළ වගේ උදවිය 1817/18 කැරැල්ලට නායකත්වය ගන්නකොට සියල්ල ම පරක්කු යි. ඇහැලේපොළ මුරුසියට පිටුවහල් කරන්නේ, කැරැල්ල පටන් ගන්න ඔන්න මෙන්න තියලා. 


දැන් ලංකාවෙ ආණ්ඩුව අල්ලගෙන ඉන්න වික්‍රමසිංහ ත් අර ජෝන් ඩොවිල් වගේ. මහනුවර රෙසිඩන්ට් වුණ ඩොයිලි උඩරට අතෑරියේ නෑ වගේ, තාවකාලික ජනාධිපති වුණ වික්‍රමසිංහ උන්නැහේ ත් පුටුව අතාරියි කියල හිතන්න අමාරුයි. 


පාර්ලිමේන්තු බහුතරයෙන් ජනාධිපති, අගමැති වෙන්න, සජිත්, අනුර, පාඨලී, ධම්මික, ඩලස් වගේ හැටහුටාමාරක් උත්සාහ කරන්නෙත් හරියට එදා 1818 කැරැල්ලට නායකත්වය දෙන්න, අච්චර රදලගොල්ලක් අතරින් එකෙක් හොයාගන්න බැරි වුණ තත්වය සිහිපත් කරමින්. අදත් කතා වෙන්නෙ කරු ජයසූරිය ව අගමැති කරවන්න.


ඒ නිසා, කොහෙදෝ හිටපු සියම් කුමාරයෙක් ගේන්න ප්ලෑන් කරන්න සිද්ධ වුණා. වැඩේ එළිදරව් වුණා ම, ශ්‍රී වික්‍රමගෙ මස්සිනා වෙච්ච මුත්තුසාමි කියල බොරුවට හඳුන්වපු විල්බාවේ කියන සිව්රු හැරපු එකෙක්ව, රජ කරවන්න සිද්ධ වුණා. 


දැනුත් වෙන්න යන්නෙ ඒක ම යි. සුහද ව, සමගි සම්පන්න ව හරිහමන් විදිහට පාර්ලිමේන්තුව ඇතුළෙන් ම එකෙක් තෝරගන්න මුන්ට බෑ! මිනිස්සු බලාපොරොත්තු වෙනවා, පිටින් එකෙක්. එදත් මිනිස්සුන්ට ඕන වුණේ මොකෙක් හරි කමක් නෑ රාජ ලේ තියෙන එකෙක්. දැනුත් ඕන මොකෙක් හරි කමක් නෑ මිනිස්සුන්ව චූන් කරන්න පුලුවන් එකෙක්. එදා විල්බාවෙ ව රජ කරවන්නෙ ඔය පසුබිම ඇතුළේ. හෙට ත්, ඒක ම වෙලා වල්බාවෙක් පිටින් ගෙනත් රජ කරවන්න බැරි නෑ! 


කැරැල්ල අසාර්ථක වෙලා, මොණරවිල, මඩුගල්ල, ඇල්ලේපොළ, පිලිමතලව්ව වගේ රදල නායකයෝ ඔක්කොම මැරුම් කෑව. හොර රජාව පිටවහල් කරන්න තීරණය කළත්, පස්සෙ නිදහස් කරලා හත් කෝරලේට යැව්ව. මැරෙනකම් හිඟන්නෙක් වෙලා ඉන්න වුණා. රට ම අවුල් ජාලාවක් වුණා. මුල් පෙළේ රදල පවුල් අහෝසි වෙලා, නව රදල පැලැන්තියක් බිහි වුණා. පාතරටින් ආපු ව්‍යාපාරිකයො උඩරට ඉඩම් ඇල්ලුවා. 


මිනිස්සු, ඩොයිලිව පන්නන්න හදි හූනියම් කළා. තොවිල්පවිල් යන්ත්‍රමන්ත්‍ර කළා. පන්නල දාපු රජ්ජුරුවන්ට දෙවි කෙනෙක් වෙලා ඇවිත් රට බේරගන්න කියල ආයාචනා කරල දේවාල හැදුවා. 


1815 පාවා දීම වගේ ම, 18 කැරැල්ලත් සැබෑ ජනමතය නියෝජනය කරපු අවස්ථා නෙවෙයි. විශේෂයෙන් ම, ශ්‍රී වික්‍රමට එරෙහි ව පාවිච්චි වුණේ සැබෑ ජනමතය වෙනුවට, ඇහැලේපොළගෙ සහ ඩොයිලිගෙ ඕනකමට හදපු ව්‍යාජ ජනමතයක්. 


ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ ව සැබෑ ජනමතයක් තිබුණ එක ඇත්ත. ඒත් මිනිහගෙන් පස්සෙ ආණ්ඩු කෙරුවාවට වික්‍රමසිංහ ට කොහෙත් ම ජනමතයක් නෑ කියල අපි අමතක කරනවා. මේ වෙලාවෙ මොන දුෂ්කරතාවක් තිබුණත් කරන්න ඕන එක ම දේ, මහ මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් පවත්වන එක!


1815-18 කාලයේ මොන හැල හැප්පීම් තිබුණත්, මොකක් වුණත්,


ඩොයිලි උන්නැහේ මැරෙනකම් මහනුවර රෙසිඩන්ට් හැටියට උඩරට පාලනය කළා!


සමහර විට ඒ, මානවම්මගෙ පුනරුප්පත්තිය වෙන්නත් බැරිකමක් නෑ!


--


නිමේෂ තිවංකර සෙනෙවිපාල

#උරුමහෙළිය #nimesha

#ඉතිහාසයෙන්_පාඩම්

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books