මානවම්ම පරපුරේ වික්‍රමසිංහ
මානවම්ම පරපුරේ වික්‍රමසිංහ
========================
සිරසේ ඉන්ටවීව් එකක, එක්තරා නිවේදිකාවක් රනිල්ගෙන් අහනවා, ලංකා සංස්කෘතිය ගැන මොනවද දන්නේ කියලා. ඒ වෙලාවෙ, කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් දෙන රනිල්, මානවම්ම ගැන කියවගෙන කියවගෙන යනවා. එදා අපි එච්චර නොහිතුවට, රනිල් කට ඇරියොත් මානවම්ම ගැන ම කතා කළේ ඇයි කියල තහවුරු වූයේ අද!
මේ සටහන ඒ ගැන. රනිල්ගෙ ආගමනය සහ දේශපාලන සන්දර්භයේ ස්වභාවය ගැන මතකයේ තියාගෙන ම මේ හෑල්ල කියවලා බලන්න.
රටේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට දකුණු ඉන්දියාවේ දේශපාලන උපකාර ලබාගැනීම්වල ප්‍රතිඵලයක් හැටියට හත්වැනි ශතවර්ෂෙ මැද භාගය වෙනකොට දේශපාලන යාන්ත්‍රණය සෑහෙන දුර්වල වෙලා තිබුණෙ.
රා.ව. 650 දී දෙ වැනි කාශ්‍යප රජ වෙන්නේ, පළමු වැනි දාඨෝපතිස්ස ව ඉන්දියාවට පළවා හැරලා. රටේ පාලනය භාරගත්තත්, කාශ්‍යප ඔටුනු පැළැන්දේ නැහැ. දාඨෝපතිස්ස ආපහු දකුණු ඉන්දීය කුලී හමුදාවක් ඇරගෙන යුද්ධෙට ආවත්, කාශ්‍යපට පුලුවන් වෙනවා, දාඨෝපතිස්ස මරල ජයගන්න. මේ කාශ්‍යප, එක අවස්ථාවක ථූපාරාමය යි, දක්ෂිණ ථූපය යි බින්දා කියල ත් චෝදනාවක් තියෙනවා. සමහර විට, කුලී හමුදාවලට විශාල වශයෙන් වැටුප් ගෙවන්න වුණ නිසා, ඇතිවෙලා තිබුණ බරපතල ආර්ථික අර්බුදය නිසා එහෙම කළා වෙන්නත් පුළුවන්.
කාශ්‍යපට දරුවො හිටියත්, ඒ හැමෝ ම ළා බාල වයස්වල හිටපු නිසා, තමන්ගෙන් පස්සෙ තමන්ගෙ දරුවන්ගෙ ආරක්ෂාව භාර කළේ, රුහුණේ හිටිය තමන්ගෙ බෑණගෙ පුතා වුණ, මාන කුමාරයාට.
මාන කුමාරයාගේ ප්‍රධාන වගකීම වෙන්නේ, අනුරාධපුරේ ව්‍යාප්ත වෙලා තිබුණ දෙමල කුලී හමුදාවල අනිසි බලය මැඩලීම. ඒක දුෂ්කර වෙලා, කුලී හමුදා අනුරාධපුරය අල්ලාගත්ත වෙලාවේ, රුහුණෙ හිටපු තමන්ගෙ තාත්තව අනුරාධපුරේට ගෙන්නගෙන, දෙ වැනි දප්පුල හැටියට අභිෂේක කරවන්න, මාන කටයුතු කරනවා. කුලී හමුදාවල ඉල්ලීමට හත්ථදාඨ කියන සිංහල කුමාරයා, ඉන්දියාවේ ඉඳල මහා සේනාවකුත් එක්ක ඇවිත් අනුරාධපුරය අල්ලනවා.
මාන යි, දප්පුල යි ආපහු රුහුණට පලායනවා. හත්ථදාඨ, ළමැනි දළුපතිස් හෙවත් දෙ වැනි දාඨෝපතිස්ස විදිහට 659 අවුරුද්දෙ රජ වෙනවා. රුහුණට පලාගිහින් හිටපු, මාන කුමාරයා ව පස්සෙ කාලෙක, මරා දාන්නෙ දෙ වැනි දාඨෝපතිස්ස.
දෙ වැනි දාඨෝපතිස්සගෙන් පස්සෙ රජ වෙන්නෙ, හතර වැනි අග්බෝ. මේ කාලෙ අනුරාධපුරේ කුලී හමුදාවල බලය තව තවත් වර්ධනය වෙනවා. මහාමාත්‍ය, සේනාපති වගේ තනතුරු දරන්නෙත් දෙමල මිනිස්සු.
අග්බෝගෙ මරණෙන් පස්සෙ රාජ්‍යයේ ආරක්ෂකයා වෙන්නේ පොත්ථකූඨ කියන දෙමල සෙනෙවියා. යුවරජුව හිරේ දාලා, ඔක්කාන වංසයේ වල්පිට වැසි දත්ත කියල දරුවෙක් ව රජ කරවන්න පොත්ථකූඨ කටයුතු කරනවා. ඌ මලාට පස්සෙ, හත්ථදාඨ කියල තවත් නාමික රජෙක් සිංහාසනේ ඉන්වනවා.
කලින් කියපු මාන කුමාරයාගෙ ආරක්ෂාව ලබපු, දෙ වැනි කාශ්‍යපගෙ පුතෙක් ඉන්නවා. මිනිහගෙ නම මානවම්ම. හත්ථදාඨව මරල 684 අවුරුද්දෙ දි මේ මානවම්ම අනුරාධපුරේ අල්ලනවා.
මේ මානවම්ම ගැන තමා වික්‍රමසිංහ උන්නැහේ හැම තැන ම කියවන්නෙ.
මාන කුමාරයාව මරපු, දෙ වැනි දාඨෝපතිස්සට බයෙන්, මේ මානවම්ම තමන්ගෙ භාර්යාව වුණ සංඝා ත් එක්ක රටේ උතුරට පැනල යනවා, 660 වැනි අවුරුද්දෙ දි වගේ. උපකාරෙට කෙනෙකුත් නැතුව අප්‍රසිද්ධ ජීවිතයක් ගෙවපු මේ ජෝඩුව පස්සෙ දකුණු ඉන්දියාවට පනිනවා. එහෙදි අවස්ථාව හම්බෙනවා, පල්ලව හෙවත් කණ්ඩුවේඨි රාජ්‍යයේ නරසිංහවර්මන් ව අඳුරගන්න.
මානවම්ම, සංඝා දෙන්නා ම නරසිංහවර්මන්ට සේවය කරනවා. මානවම්ම, පල්ලවයේ සේනාපතියෙක් වෙනවා. බටහිර චාලුක්‍යයෝ, පල්ලවය අල්ලන්න එනකොට පල්ලවය බේරගන්නේ මේ මානවම්ම.
මේ කාර්යය ගැන සංතෝස වෙන නරසිංහවර්මන්, මානවම්මට පොරොන්දු වෙනවා, ලංකාව අල්ලගන්න උදව් කරනවා කියලා.
මානවම්ම, මහා පල්ලව හමුදාවක් එක්ක ඇවිත් අනුරාධපුරේට පහර දෙනවා. මානවම්ම, දාඨෝපතිස්සව හඹාගෙන යන අතරේ, ආරංචියක් එනවා නරසිංහවර්මන් රෝගාතුර වෙලා කියලා. සේනාව තීරණය කරනවා ආපහු යන්න.
කුඩා හමුදාවක් විතරයි මානවම්මට ඉතුරු වෙන්නේ. ඒකෙන් කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ කියල තේරුම් ගන්න මානවම්ම ආපහු පල්ලවයට ගිහින් සේනාපතිකම බාරගන්නවා.
මානවම්ම, දිගට ම පල්ලව රාජ්‍ය සේවයේ යෙදෙනවා, දෙවැනි ආක්‍රමණයට ඕන කරන සහයෝගය ලබාගන්න සුදුසු කාලය එනකම්. අවුරුදු විස්සක් ම බලාගෙන ඉන්නවා. පළමු වැනි ආක්‍රමණයට උපකාර කරපු පළමුවැනි නරසිංහවර්මන්ගෙන් පස්සෙ තුන් වැනියට රජ වෙන දෙ වැනි නරසිංහවර්මන්, මානවම්මට උදව් කරනවා.
ඒත් පල්ලව හමුදා, මානවම්මට උදව් කරන ක ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියනවා, පල්ලව රජු හැර වෙන කිසි කෙනෙකු සමඟ යුද්ධයට යන්න තමන්ට බෑ කියලා. ඒ වෙලාවෙ දෙ වැනි නරසිංහවර්මන් මානවම්මට උපදෙස් දෙනවා තමන් වගේ හැඳපැළඳගෙන නැව් නගින්න කියලා. ඔය විදිහට උපායෙන් මහා පල්ලව හමුදාවක් එක්ක අනුරාධපුරේට එන්න මානවම්මට පුලුවන් වෙනවා.
හත්ථදාඨ කියන රූකඩ පාලකයා එක්ක, පොත්ථකූඨ කියන මහා රණශූර දෙමල සේනාපතියා පරාජය කරන්න මානවම්මට පුලුවන් වෙනවා. පරාජයට පත් වෙලා, මේරුකන්ද දනව්වට පැනල යන පොත්ථකූඨ වස බීල මැරෙනවා.
අවුරුදු විසිහතරක් වගේ කාලයක් සෑහෙන කට්ටක් කාගෙන, පල්ලව රජ්ජුරුවන්ගේ හි දිනාගෙන, යුද්ධ කරලා, රාජ්‍ය සේවයේ යෙදිල, අනුරාධපුරේට එරෙහිව අසාර්ථක යුද ව්‍යාපාරයක යෙදිලා, තවත් අවුරුදු විස්සක් පල්ලවයන්ට කඹුරලා, පට්ට ගේමක් දීලා ආපහු තමන්ගෙ උරුමය වන, අනුරාධපුරය අල්ලගන්න මානවම්මට පුලුවන් වෙනවා.
මානවම්මගෙන් ආරම්භ වෙනවා, ලම්බකර්ණයනගේ දෙ වැනි යුගය. අවුරුදු තිස් පහක් රජකම් කරනවා. මැදි වියේ තැනැත්තෙක් විදිහට ත්, අත්දැකීම් බහුල තැනැත්තෙක් විදිහට ත්, මානවම්ම, රටේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ කරනවා. රටේ අස්ථාවර වෙලා තිබුණ කෘෂිකර්මය, පාලන ක්‍රමය, යුද්ධ හමුදාව, ආගමික සංස්ථාව, වාරිමාර්ග, ඉන්දියාව සමඟ සම්බන්ධකම්, ප්‍රාදේශීය පරිපාලනය කියන හැම අංශයක ම සාධනීය වෙනස්කම් මේ වකවානුවේ ඇති වෙනවා.
රාජ්‍යත්වය වෙනුවෙන් වැඩි ම කාලයක් ඉවසා වදාරාගෙන හිටපු පාලකයා හැටියට ත්, මානවම්ම ව හඳුන්වලා දෙන්න පුලුවන්.
ඉතින් හිතවතුනි,
ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්න කෙනෙක් කල්පනා කරනවා නම්, ඒක වරදින්නේ නෑ. 2022 රනිල් වික්‍රමසිංහ බලය අල්ලාගැනීමෙයි, 684 දි මානවම්ම බලය අල්ලාගැනීමෙයි සමානකම් ගොඩක් මට නම් පේනවා. න්‍යායික ව බලය ඇල්ලුවා වුණාට මානවම්ම කරපු ප්‍රතිසංස්කරණ කරන්න නම්, වික්‍රමසිංහට පුලුවන් වෙන එකක් නෑ!
වික්‍රමසිංහගෙ ප්‍රියතම රජ්ජුරුවො ත්, මානවම්ම වෙනවාට සැකයක් නෑ!
----
නිමේෂ තිවංකර සෙනෙවිපාල

Comments
Post a Comment