භාරතයේ බෝධිසත්වයා : ආචාර්ය අම්බෙද්කාර්

 භාරතයේ බෝධිසත්වයා : ආචාර්ය අම්බෙද්කාර් 




අප්‍රේල් 14 වැනි දා, ආචාර්ය බී. ආර්. අම්බෙද්කාර් ශ්‍රීමතාණන්ගේ 131 වැනි ජන්ම සංවත්සරය යෙදෙන දිනය යි. වී. ටී. රාජශේඛර්ට අනුව, බුදුරජාණන් වහන්සේට පසුව ඉන්දියාව බිහි කළ ශ්‍රේෂ්ඨත ම මිනිසා මේ අම්බෙද්කාර් ය. හින්දුන් විසින් පවා මහත්මා ගාන්ධිට පසුව, වඩාත් ම ශ්‍රේෂ්ඨ ඉන්දියානුවා වශයෙන් සලකනු ලබන්නේ, ආචාර්ය අම්බෙද්කාර් සම්බන්ධයෙනි. සල්මන් රුෂ්ඩි සඳහන් කරන්නේ, අම්බෙද්කාර් යනු, දාලිත් නම් කුල හීන සමාජය තුළ අම්බෙද්කාර් කෙරෙහි ඇති පිළිගැනීම අභිමුඛයෙහි ගාන්ධි  යනු ලිලිපුට්ටෙකුට සමාන වන බව යි. 


එබැවින් ඔහු පිළිබඳව කෙටි සටහනක් තැබීම මෙම අවස්ථාවේ වැදගත් වන්නේ අන් කිසිවක් නිසා නොව, සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා සංහිඳියා මාවතේ ගමන් ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඔහුගේ ජීවන වෘත්තාන්තය ඇසුරින් උගත හැකි නිසා ය. 


ඔහු හැඳින්වීම තනි වෘත්තීය නාමයකින් කළ නොහැක. ඉතිහාසඥයෙකු, ලේඛකයෙකු, දේශපාලනඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු, බැරිස්ටර්වරයෙකු, සමාජ ශෝධකයෙකු, ගුරුවරයෙකු, න්‍යායාචාර්යවරයෙකු ආදි වශයෙන් කවර ආභිධානයකින් ව්‍යවහාර කරනු ලැබූව ද, ‘ශ්‍රේෂ්ඨ ඉන්දියානුවෙකු’ යනුවෙන් හැඳින්වීම තරම් ඔහුට ගෞරවාදරය දැක්විය හැකි අන් මගක් නැතැයි මම සිතමි.


ආචාර්ය අම්බෙද්කාර්, 1891 අප්‍රේල් 14 වැනි දා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි දී උපත ලබන්නේ හීන යැයි සම්මත  දාලිත් කුලයේ උපකුලයක් වූ ‘මහාර්’ නමැති කුල සාමාජිකයෙකු වශයෙනි. මේ ‘මහාර්වරු’ සම්බන්ධයෙන් ඉන්දීය ජන සමාජය තුළ පැවති අදහස වූයේ, ඔවුන් ස්පර්ශ කිරීමට හෝ නුසුදුසු තැනැත්තන් බව ය. මේ ආකාරයෙන් සමාජ පීඩිතයන් බවට පත් ව සිටි මහාර්වරුන්ගේ උන්නතිය සහ අයිතිවාසිකම් උදෙසා අම්බෙද්කාර් විසින් ගනු ලැබූ ප්‍රයත්නය, එක් අතකින් සිය වර්ගයා වෙනුවෙන් ද, අනෙක් පසින් සමස්ත මානව වර්ගයා වෙනුවෙන් ද තබනු ලැබූ යෝධ පියවරක් ලෙස සැලකිය හැකිය. මහාර්වරු සම්බන්ධයෙන් පැවති පිළිගැනීම නම් ඔවුන් චන්ද්‍රයාගෙන් පැවතෙනන් බවත්, බුද්ධ කාලයේ පටන් පැමිණෙන ඉතිහාසයක් පවතින බවත් ය. එබැවින්, බහුතර හින්දු බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය හා වෛශ්‍ය කුලිනයන් වෙතින් මෙම දාලිත් මහාර්වරු බරපතල පීඩාවක් ලැබූහ. 


ආචාර්ය අම්බෙද්කාර් ද එකී හීන කුලයේ උපත ලැබූ මුත්, අතිශය ධෛර්යසම්පන්න ව සිය ජීවිතය ජයගත්තේ, බැරෝදාවේ සෙයිජිරාවෝ ගෙයික්වාද් මහාරාජා වෙතින් ලැබූ ශිෂ්‍යත්වයක් නිසා ය. එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියත්, ඉන් ම ලබාගත් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත්, එක්සත් රාජධානියේ ලන්ඩන් සරසවියෙන් ලැබූ විද්‍යාපති හා ආර්ථික විද්‍යාව පිළිබඳ දෙ වැනි ආචාර්ය උපාධියත් යනාදි වශයෙන් අතිවිශාල පරාසයක ශාස්ත්‍රීය ශික්ෂණයක් ද අත්පත් කරගනිමිනි. එකී සරසවිවල ආචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කළ හෙතෙම නීතිඥ වෘත්තියට ද ඇතුළත් වුණේ ය. මෙම අධ්‍යයන පරිචය තුළ ඔහු ලැබූ දැනුම සිය මාතෘභූමිය වෙත ආයෝජනය කරන ආචාර්ය අම්බෙද්කාර්, පසුව ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පාදකවරයා ද විය. 


කුල බේදයකින් තොර, එක් ඉන්දියාවක් වෙනුවෙන් අම්බෙද්කාර්ගේ කැප කිරීම විස්මයජනක ය. 1920 දශකයේ පමණක් දහස් ගණන් දේශන පවත්වමින්, දිළිඳු හා කුල පීඩිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ හෙතෙම, 1924 බොම්බායේ පැවැත්වූ පළමු මහාර් සමුළුව ද ආමන්ත්‍රණය කළේ ය. ගවමස් නොකෑම, වැසිකිලි මල මූත්‍ර ඇදීමේ කාර්යය නැවැත්වීම, මස් සඳහා ගවයන් විකිණීමට ඉන්දියානු රුපියල් සියයක දඩයක් නියම කිරීම, විධිමත් දික්කසාදයකින් තොරව වෙනත් විවාහ සිදු කර නොගැනීම, අනුන්ගේ අශ්වයන් පවිත්‍ර නොකිරීම, කසල ශෝධක කාර්යයන්ගෙන් ඉවත් වීම, අත් යන්ත්‍රවලින් සකස් කරගන්නා ලද රෙදි පරිබෝජනය කිරීම, මහාර් කුල දරුවන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීම, වහල් සේවයට විරුද්ධ වීම යනාදි ප්‍රශස්ත හා ප්‍රගතිශීලී යෝජනා රැසක් සම්මත කරගන්නා ලදී. 


මේ සමාජ සමානාත්මතාව වෙනුවෙන් ගන්නා ලද තීරණ හේතුවෙන්, සාම්ප්‍රදායික කුලවාදී හින්දු සමාජයේ බරපතල ගර්හාවන්ට, අභියෝගයන්ට සහ නිග්‍රහයන්ට මුහුණ දෙන්නට ආචාර්ය අම්බෙද්කාර්ට සිදු විය. විටෙක මුස්ලිම් වර්ගවාදියෙකු ලෙස හා අධිරාජ්‍ය ගැති තැනැත්තෙකු ලෙස ද චෝදනා ලැබීය. මේ කුලවාදී විවේචන ක්‍රමයෙන් වර්ධනය වූ නමුත්, ස්වකීය අභිමතාර්ථය වෙනුවෙන් නිර්භය ව පෙනී සිටින්නට ආචාර්ය අම්බෙද්කාර්ට හැකියාව ලැබුණි.


1935 ඔක්තෝබර් 13 වැනි දා මහාරාෂ්ට්‍රයේ නාසික් හි දී පැවති මහාර් සමුළුවක දී සම්මත කරගන්නා ලද යෝජනාවකින් කියැවුණේ, දිගින් දිගට ම හින්දු ආගම වෙතින් එල්ල වන පීඩනට සමනය කරගනු වස්, නව ආගමක් නිර්මාණය කර ඒ අනුව සිය ඉදිරි කටයුතු සකස් කරගත යුතු බව යි. එයින් සමස්ත ඉන්දියාව ම තැතිගත්තේ ය. ආචාර්ය අම්බෙද්කාර්ගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන පහකට ආසන්න විය. 


“කිසියම් අහේතුවකින් මම හින්දු දාලිත් මිනිසෙකුට දා ව උපන් හෙයින්, එය උපතින් ම අහෝසි කර දමන්නට මට දැන් හැකියාවක් නැත. එහෙත්, මම හින්දුවෙකු වශයෙන් මිය නොයන බව ඔබට ශපථ කරමි.”


යනුවෙන් එහි දී ආචාර්ය අම්බෙද්කාර් කළ ප්‍රකාශයෙන් සමස්ත භාරතය ම ප්‍රකම්පනය වූවා පමණක් නොව, එහි ප්‍රතිඵලයක් වශයෙන් ‘අවිහිංසාවාදයේ පියා’ යනුවෙන් විරුදාවලි ලැබූ මහත්මා ගාන්ධිගේ පවා දැඩි දෝෂදර්ශන, ආචාර්ය අම්බෙද්කාර්ට එදිරි ව ඉදිරිපත් විය. 


ආගම අතහැරීමේ ප්‍රකාශය සමඟ මුස්ලිම්, සික්, කතෝලික ආදි සෑම ආගමකින් ම පාහේ ඉල්ලීම් ඉදිරිපත් වෙමින්, තම තමන්ගේ ආගම් පිළිගන්නා මෙන් ආචාර්ය අම්බෙද්කාර් වෙත ආරාධනා කරනු ලැබුණි. සික්වරුන්ට තහනම් ස්ථානයක් ලෙස සැලකුණු කාලාරාම් දෙවොල වෙත සික් ජාතිකයන් එක් දහස් පන්සිය දෙනෙකු සමඟ 1930 දී සිදු කළ ගමන ඉන්දීය ඉතිහාසයේ වැදගත් කඩයිමකි.  


2500 වැනි බුද්ධ ජයන්තිය හා සමගාමී ව 1950 වර්ෂයේ දී ලංකාවේ පැවති බෞද්ධ සම්මේලනය සඳහා සහභාගි වන මෙන් ශ්‍රී ලංකාවේ තරුණ බෞද්ධ සංගමය විසින් ආචාර්ය අම්බෙද්කාර් වෙත ඇරයුම් කරන ලදු ව, එය පිළිගත් හෙතෙම ලංකාවට පැමිණියේ ය. ලංකාවේ බුදුදහම සජීවී තත්ත්වයෙහි පවතිනු දැකීමෙන් ඉමහත් ප්‍රමෝදයට පත් වූ ආචාර්ය අම්බෙද්කාර්, පසුව සඳහන් කරන්නේ, ‘මා බෞද්ධයෙකු බවට පත් නො වූ නමුත්, ඒ සඳහා බලවත් පෙළඹවීමක් ලක්දිව සංචාරයෙන් ලැබුණු බව’ යි. 


ආපසු ඉන්දියාවට ගිය ඔහු, බුද්ධ දර්ශනය වැළඳගැනීමේ වැදගත්කම පිළිබඳව පළමුවරට දේශනා කරන ලද්දේ, මුම්බායි හි වොර්ලි විහාරයේ පැවති සමුළුවක දී ය. හින්දු හා මුස්ලිම් බලපෑම් කෙතරම් එල්ල වූ නමුත්, යටපත් කර දැමිය නොහැකි වූ බුදුසමය වැළඳගැනීමේ බලවත් අභිලාෂයක් තමා තුළ ඇති බව ද ඔහු එහි දී හෙළිදරව් කළේ ය. 


තුර ප්‍රදේශ් හි කුම්මි නුවර වැඩ විසූ චන්ද්‍රමනි නම් තෙරණුවන් වෙතින් බුදු සමය වැළඳගත් ආචාර්ය අම්බෙද්කාර් අනුමගනය කරමින් ලක්ෂ ගණනක් කුලහීන ප්‍රජාව බුදු සමය වැළඳගන්නා ලදී. එහිදී ලක්ෂ පහකට ආසන්න පිරිසක් පංචශීලයෙහි පිහිටුවන ලද්දේ ද ආචාර්ය අම්බෙද්කාර් විසින් ම වීම විශේෂත්වයකි. 


1956 දී නේපාලයේ පැවති සතර වැනි ලෝක බෞද්ධ සම්මේලනයේ දී, ආචාර්ය අම්බෙද්කාර් පිළිබඳව ජනමාධ්‍ය විසින් හඳුන්වා දෙන ලද්දේ, යළි පහළ වූ බෝධිසත්වයෙකු වශයෙනි. වසර දෙකක් තුළ මිලියන හැටක පමණ කුල හීන යැයි සම්මත ප්‍රජාවක් ආචාර්ය අම්බෙද්කාර් අනුව යමින් බුදු සමය වැළඳගෙන සිටියහ. 


නිදහස් කම්කරු පක්ෂයේ සභාපතිවරයා වශයෙන් දේශපාලනයේ යෙදුණු ආචාර්ය අම්බෙද්කාර්, 1947 වර්ෂයේ දී නිදහස් ඉන්දියාවේ පළමු අමාත්‍ය මණ්ඩලයේ, අධිකරණ අමාත්‍ය ධූරය උසුළන ලදී. ඉන්දියානු ආර්ථික ක්‍රමයත්, නෛතික ක්‍රමයත් අම්බෙද්කාර්ගේ පුරෝගාමීත්වයෙන් ගොඩනැගුණු සම්ප්‍රදායන් ය. ඉන්දියානුවෙකු වෙත පිරිනැමෙන උත්තරීතර ම සම්මානය වන ‘භාරතරත්න’ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය. 


ඔහු, වර්ෂ 1956 දෙසැම්බර් 6 වැනි දා දිල්ලියේ දී මරණයට පත් වූ අතර, ඔහුගේ ජන්ම දිනය හෙවත් අප්‍රේල් 14 වැනි දිනය, හෙවත් අම්බෙද්කාර් ජයන්ති දිනය ඉන්දියාවේ රජයේ නිල නිවාඩු දිනයක් වශයෙන් සලකනු ලබන්නේ ආචාර්ය අම්බෙද්කාර් කෙරෙහි දක්වන ලද අතිමහත් ගෞරවය පදනම් කරගනිමිනි.


නිමේෂ තිවංකර සෙනෙවිපාල

Nimesha Thiwankara 

Nimesha Thiwankara II

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books