ඉතින් ආදරිය, කඩා දැමූ අතින් ලියමි මම ඔබට!
ආදරිය, ලියමි මම ඔබට!
====================
ගිටාරයක් රැගත් කඩවසම් තරුණ විදේශිකයෙකුගේ රූපය සහිත රතු පාට පෝස්ටරයක් කලකට පෙර අප නිවසේ තිබුණි. ඒ කවුදැයි තාත්තා වෙතින් අසා දැනගත්තේ කවදාදැයි මට මතක නැත. එහෙත් ඒ රූපය, වික්ටර් හාරා (Victor Jara) නම් චිලී ජාතික වීරයෙකුගේ බව මම දැන සිටියෙමි.
1971 සැප්තැම්බර් මාසයේ 11 වැනි දා, දකුණු ඇමරිකානු මහාද්වීපයේ චිලී රාජ්‍යයේ බලය අනීතික අන්දමින් සියතට ගැනීමට හමුදා නායක, ඔගස්තො පිනොෂෙ (Augusto Pinochet) සමත් විය. ඉන් ආරම්භ වූ අතිශය පිළිකුල් සහගත ඉතිහාස පරිච්ඡේදය විසින් බොහෝ වීරයන් නිර්මාණය කරනු ලැබී ය.
වීරයන් උපදින්නේ තමාගේ ඕනෑකමට නොවේ; ඉතිහාසයේ ඕනෑකමට ය.
1970, සැල්වදෝර් අල්ලන්දේගේ (Salvador Allende) සමාජවාදී මැතිවරණ ව්‍යාපාරය තුළ කැපී පෙණුනු භූමිකාවක් නිරූපණය කළ, වික්ටර් හාරා වීරයෙකු වශයෙන් ඉස්මතු කරනු ලැබුවේ, දුර්දාන්ත හමුදා පාලක පිනොෂෙගේ පාලනය විසිනි.
පාලන බලය සියතට ගනු ලැබූ පිනොෂෙගේ හමුදාව, රට පුරා ම දැඩි මර්දනයක් ක්‍රියාත්මක කළේ ය.
සිය මව සහ පියා වෙනුවෙන් ගැයූ Te recuerdo Amanda හෙවත් I remember you Amanda නම් ගීතය ඒ වන විටත්, චිලීයේ නිර්ධන පන්තියේ කම්කරුවන්ගේ තේමා ගීතයක් විය. චිලී ජන සංගීතයේ ආභාෂය ලැබූ, ජනතා ගායක හාරා, ඒ වන විට, සන්තියාගෝ සරසවියේ මණ්ඩපාධිපතිවරයෙකු ද විය.
හාරා, යක්ෂයාට හසු වූයේ, 1971 සැප්තැම්බර් 15 හෝ 16 වැනි දා සිය සේවා ස්ථානය වූ සන්තියාගෝ සරසවියේ සිටිය දී ය. හමුදා කුමන්ත්‍රණයත් සමඟ සැල්වදෝර් අල්ලන්දේ සියදිවි නසා ගත්තේ ය. ඔහුගේ සමාජවාදී පෙරමුණට සහය පළ කළ දහස් ගණන් නිදහස් මිනිසුන් සන්තියාගෝ හි සුප්‍රකට පාපන්දු ක්‍රීඩාංගණය වෙත ගෙන එනු ලැබූ අතර, හාරා ද ඒ අතර විය. එහි වධකාගාරයේ රඳවනු ලැබූ, ඔහුගේ මල සිරුර පසු දින, මහ මග විසි කර දමා තිබියදී සොයා ගන්නා ලදී.
ඔහුගේ ඇඟිලි සහ අත් කඩා දමා තිබුණි. හිස ද ඇතුළු ව, ඔහුගේ සිරුර පුරා වෙඩි ප්‍රහාර හතලිහකට වඩා විය. බිරිඳ විසින් හඳුනාගනු ලැබූ දේහය මිහිදන් කර දින කිහිපයකට පසු හාරාගේ ආත්මය අවදි වූයේ ය; ඒ ඔහුගේ මරණය පසුපස කතාව එළිදරව් වීමත් සමඟිනි.
අල්ලාගෙන, ගෙන එනු ලැබූ පන්දහසක පමණ සිවිල් ජනතාව අතර සිට ඔවුන්ගේ ධෛර්යය වඩවනූ පිණිස හාරා ගී ගයා තිබුණි. වධකයන් විසින් ඔහු ලවා ගීත ගයවන අතර නොයෙක් වධ බන්ධනවලට පමුණුවා තිබුණි. ඇඟිලි, අත් කඩමින් ගිටාරය වාදනය කරවාගෙන තිබුණි. මරණය සිදු වන තුරු ම, හාරා විසින් ජන හිතවාදී ගී ගැයූ බව පසුව හෙළිදරව් විය. සියල්ල අවසානයේ ඔහුගේ හිසට වෙඩි තබන ලදී. ගිටාරය කඩා දමන ලදී.
Estadio Chile හෙවත් Somos Cinco Mil ගීතය ඔහු විසින් අවසන් වරට ගායනා කර තිබුණි.
There are five thousand of us here
in this small part of the city.
We are five thousand.
I wonder how many we are in all
in the cities and in the whole country?
How hard it is to sing
when I must sing of horror.
Horror which I am living,
horror which I am dying.
To see myself among so much
and so many moments of infinity
in which silence and screams
are the end of my song.
"මේ පුංචි නුවර කෙළවර
සිටී අපගෙන් පන්දහසක් දෙන
අප පන්දහසකි!
එහෙත් මේ රට පුරා සෑම නුවරක ම
අප කොතරම් සිටිත් දැයි මට පුදුම යි!
ගැයුම කෙතරම් අමාරු ද!
එහෙත් මම ගැයි ය යුතු ය
භීෂණය ගැන!
මා වෙසෙන
මා මැරෙන
භීෂණය ගැන!
නිහඬබව සහ සිහින් කෙඳිරිලි පිරි
අනන්තයේ නොයෙක් දෑ මැද
මට පෙනෙන්නේ
මගේ ගීතයේ අවසානය යි!"
හාරා මරා දැමුණු පසු, ගිටාරය චිලී රාජ්‍යය තුළ තහනම් සංගීත භාණ්ඩයක් බවට පත් විය. තුවක්කු දැරූවන් විසින් ගිටාර දැරූවන් මත මර්දනය ක්‍රියාත්මක විය. තුවක්කුවට වඩා ගිටාරය බලවත් අවියක් සේ පිනොෂෙගේ හමුදා ජුන්ටාව විසින් සලකන ලදී.
හාරාගේ මරණින් මතු, ඔහු ගැන, ඔහුගේ මානවීය හා විශ්වීය ගුණය ගැන ලියැවුණු ගී රැසකි.
Hogni Reistrup ගැයූ, Back against the Wall, හාරා ගැන එක් සංවේදී මතකයක් ඉතිරි කරයි.
My voice is weak, just a whisper
My hands are broken
But I have written a letter
To remind my love
That she was born and raised
With her Back against the wall
"මගේ හඬ දුබල යි
දැන් එය කෙඳිරිල්ලක් පමණි!
එහෙත් ආදරිය,
ඔබ උපන්නේ ත් ජීවත් වුණේ ත්
බාධකවලට එදිරි ව යැයි කියා
ලියන්නට ඇත හසුනක්,
උන් කඩා දැමූ මගේ අතින්!"
----
නිමේෂ තිවංකර සෙනෙවිපාල
හාරාගේ ගීතවලට කළ මගේ අනුවාදය එහි අදහසට මුල්තැන දී කරන ලද බව කරුණාවෙන් සලකන්න.
Nimesha Thiwankara II
Nimesha Thiwankara Senevipala

Comments
Post a Comment