නිදහස පතා සිදු වුණු ජනතා නැගිටීම් අට
නිදහස පතා සිදු වුණු ජනතා නැගිටීම් අට
===================================
අතීතකාමය ම මිස අපට ඇති ලබුකැටයක් නැත. අපි ‘අභිමානය’ යනුවෙන් වහරන්නේ එකී අතීතය ය. වර්තමානයේ අපට අභිමාන උපදවාගන්නට ඇති එක ම කාරණය වන්නේ, දශකයකට පමණ පෙර ලැබූ මිලිටරි ජයග්‍රහණය පමණි. ඒ නිසා, එය ද අපගේ ‘අභිමාන’ හේතුපාඨයක් බවට පත් ව තිබේ.
අධ්‍යාපන, පරිපාලන, සෞඛ්‍ය, පොදු පහසුකම්, නීතිය, ආගම, සංස්කෘතිය, විද්‍යාව, තාක්ෂණය, ප්‍රවාහන ආදි කිසිවකින් අපට අභිමාන ඇති කරගැනීමට නොහැකි ය. එබැවින් අප, අභිමාන රහිත ජාතියකි. ඇත්තේ අතීතකාමයක් පමණි. අතීතකාමය, අභිමානයක් සේ වරදවා වහරමින්, අභිමාන උපදවා ගැනීම විනා අපට ඇති කෙංගෙඩියක් නැත. ගාලු මුවදොර හෝ නිදහස් චතුරස්‍රයේ ගමන් කරන හමුදා පෙළපාලියකින් අභිමානවත් වන්නට කැස කවනවා විනා, නිදහස් දිනය දා කියන්නට තරම් වටිනා දෙයක් අපට නැත. මෙය දශක හතක ශේෂ පත්‍රය යි.
1948 දී ඩොමිනීයන් තත්වයක් යටතේ අපට ලබාදෙන ලද්දේ, ඒ වන විට ආර්ථික හා දේශපාලනික වශයෙන් දුර්වල වූ ලොම් හැලුණු කිරීටයක භෞතික බලපෑමෙන් තරමක් දුරට නිදහස් වූ අර්ධ ස්වයං පාලන අයිතිවාසිකමක් පමණක් වන අතර, 1972 ජනරජකරණය තෙක් ම එම තත්ත්වය බලපැවතුණේ ය. 1972-1977 දක්වා පස්වසරක කාලය පමණක් ස්වාධින පාලන ක්‍රමයක පහස ලබන්නට ලංකාවට හැකි වූ නමුත්, එහි ආරම්භය ම අතිශය කටුක වූවක් බව අපි දනිමු. 1977 සිදු වූ ආර්ථික පෙරළියත් සමඟ, අදිසි යටත්විජිතකරණයකට ලක් වූ අපි එහි ප්‍රතිඵල අදටත් බුක්ති විඳින්නෙමු.
අතීතකාමී පසුබිම තුළ වුවත්, ‘සුද්දාගෙන් අප ලද නිදහස’ අවතක්සේරු කල නොහැකි ය. එසේ කිරීම අප විසින් අපට ම කරගන්නා මදිපුංචිකමකි. 1948 පෙබරවාරි 04 වැනි දිනය වෙනුවෙන් සිහින දකිමින්, ලේ දහදිය මෙන් ම, ස්වකීය ප්‍රාණය ද කැප කළ ගණන මෙතෙකැයි කියා නිම කරන්නට නොහැක. එහෙත් අප කතා කරන්නේ, යථොක්ත 1818 සහ 1848 විමුක්ති අරගල ගැන පමණකි.
ලංකාවේ නිදහස පතා සිදුකෙරුණු අරගල, නැඟී සිටීම් අවස්ථා කිහිපයක දී ම වාර්තා වේ. කොළඹ සහ මහනුවර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේඛන, සාක්ෂ්‍යන් වශයෙන් තබා මෙම ලැයිස්තුව ඉදිරිපත් කරන්නේ, ඒ නිර්භීත මිනිසුන්ට කරන උපහාරයක් වශයෙනි.
පළමු වෑයම : ඌවේ මහ කැරැල්ල (1817 අගෝස්තු - 1818 නොවැම්බර්)
මොණරවිල කැප්පෙටිපොළගේ මූලිකත්වයෙන් සහ තවත් විශාල රදල ප්‍රධානීන් පිරිසකගේ නායකත්වයෙන් සිදු වූ ඌවේ මහ කැරැල්ල හෙවත් වෙල්ලස්ස කැරැල්ල, අතිශයින් සාර්ථක කරගත හැකි ව තිබිය දී, පාවාදීම් නිසා අසාර්ථක වූවක් විය. උඩරට ප්‍රභූ පවුල් රැසක් ද, උඩරට ගම්බිම් රැසක් ද මෙයින් විනාශයට පත් විය.
දෙවන වෑයම : වෙල්ලස්සේ දෙවන නැගිටීම (1820 ජනවාරි)
1820 ජනවාරි මාසයේ වෙල්ලස්සේ වැදි පිරිසක් සමඟ එක් වී, කුමාරසාමි නමැත්තෙකු කැරැල්ලක් ඇති කළේය. 'විමලධර්ම නරේන්ද්‍රසිංහ' වශයෙන් තමා හඳුන්වා ගත් ඔහු ද්‍රවිඩ පිරිසක් ද ඊට සම්බන්ධ කරගත්තේ ය. බින්තැන්නේ දිසාව වූ මිල්ලව විසින් කැරැල්ල පාලනය කරගත් අතර, අත්අඩංගුවට ගනු ලැබූ කැරලි නායකයා මුරුසියට පිටුවහල් කරන ලදී.
තුන්වැනි වෑයම : තමන්කඩුවේ නැගිටීම (1820)
කොබ්බෑකඩුවේ දිසාවගේ මූලිකත්වයෙන් තමන්කඩුවේ උද්ගත වූ ඉංග්‍රීසි විරෝධය සඳහා සිංහල ජනතාවගේ වැඩි උනන්දුවක් යොමු වුණේ නැත. ඒ නිසා පහසුවෙන් ම කොබ්බෑකඩුවේ දිසාව අල්ලාගැනීමට හැකි විය. නඩුව අවසානයේ දී, කොබ්බෑකඩුවේ දිසාව, සියලු තනතුරුවලින් පහ කර, ඔහුගේ දේපල සියල්ල ම රාජසන්තක කර, කොළඹ - නුවර මාර්ගය අතුගෑම සඳහා යොදවා දඬුවම් පමුණුවන ලදී.
සිව්වැනි වෑයම : මාතලේ නැගිටීම (1823)
අලුවිහාරයේ වැඩ විසූ කහවත්තේ උන්නාන්සේ නමැති භික්ෂුන් වහන්සේ නමක විසින් 1823 දී ඇති කරන ලද ඉංග්‍රීසි විරෝධයට ද ජනතා සහභාගිත්වයක් ලැබුණේ නැත. මුල් අවස්ථාවේ දී අලුවිහාරේ, ඇතිපොළ වැනි ප්‍රදේශාධිපතියන්ගෙන් ඊට රුකුල් ලැබුණ ද, ඔත්තුකරුවන්ගේ බලපෑමෙන් මෙම නැගිටීම පාලනය විය. අත්අඩංගුවට පත් වූ කහවත්තේ උන්නාන්සේ 1823 අගෝස්තු මාසයේ පැවති නඩු විභාගයකින් අනතුරුව, එම මාසයේ 5 වැනි දා මහනුවර බෝගම්බර දී එල්ලා මරා දමනු ලැබුණි.
පස්වැනි වෑයම : හත්කෝරළේ නැගිටීම (1834)
කුරුණෑගල දිසාවේ රිදී විහාර වැසි තිබ්බොටුවාවේ, දඹෑවේ සහ කැටකුඹුරේ යන භික්ෂුන් වහන්සේලාගේ උනන්දුවෙන් ඇති වෙන්නට ගිය සත් කෝරළේ ඉංග්‍රීසි විරෝධයට මොල්ලිගොඩ (කණිෂ්ඨ) අදිකාරම, දුනුවිල දිසාව, රද්දේගොඩ ලේකම් යන රදල ප්‍රධානීන්ගේ සහයෝගය ලැබුණි. ලංකා රෙජිමේන්තුවේ ජා මුලාදෑනියෙකු ද ඊට සහයෝගය ලබා දුන් බව පසුව හෙළි විය. ඔත්තුකරුවන් වෙතින් ලද තොරතුරු මත අත්අඩංගුවට ගනු ලැබූ කැරලි නායකයන් වෙනුවෙන් 1835 ජනවාරි 15 වැනි දා කොළඹ දි නඩු විභාගයක් පවත්වන ලද අතර, ජූරියේ තීරණය පරිදි ඔවුන් සියලුදෙනා නිදහස් කරනු ලැබුණි. එහෙත් ඒ වන විට දරන ලද සියලු තනතුරු අහිමි කෙරිණි.
ස වැනි වෑයම : මාතලේ නැගිටීම (1842)
චන්දජොති සීලවංස සරණංකර නම් භික්ෂුන් වහන්සේ නමක විසින් මාතලේබද පිරිසක් සමඟ එක් ව සැලසුම් කරන ලද නැගිටීමක් ගැන ඔත්තු ලබාගැනීමට ඉංග්‍රීසින්ට හැකියාව ලැබුණු අතර, උන්වහන්සේට මරණීය දණ්ඩනය නියම කරන ලදී. එහෙත්, ආණ්ඩුකාර කොලින් කැමල් විසින් මරණීය දණ්ඩනය අහෝසි කර දාහතර වසරක බරපතල වැඩ සහිත සිරදඬුවම් උන්වහන්සේට ලබාදෙනු ලැබීය. කොළඹ සිරගත කරන ලද උන්වහන්සේ එහි දී ම අපවත් වූහ.
සත්වැනි වෑයම : කොත්මලේ/දුම්බර නැගිටීම (1842-1843)
හඟුරන්කෙත ඩිංගිරාළ, දාවිත් (පෑලියගොඩ දාවිත් හෙවත් ගොංගාලේ ගොඩබණ්ඩා) යන අය විසින් කොත්මලේ, දුම්බර සහ හඟුරන්කෙත ආශ්‍රිතව ඉංග්‍රීසි විරෝධයක් ඇති කරන ලද නමුත්, පසුව අත්අඩංගුවට ගන්නා ලදී. නඩු විභාගයෙන් සියලුදෙනා ම නිදහස් කරන ලද අතර, 1848 මාතලේ කැරැල්ල සඳහා පෙරමුණ ගත්තේ ද ඔවුන් ය.
අටවැනි වෑයම : මාතලේ නැගිටීම (1848 ජූලි - ඔක්තෝබර්)
වීදිපැල්ලේ බණ්ඩා හෙවත් හඟුරන්කෙත ඩිංගිරාළ, හැන්නදිගේ ෆ්‍රැන්සිස් හෙවත් පුරන් අප්පු, පෑලියගොඩ දාවිත් හෙවත් ගොංගාලේගොඩ බණ්ඩා, කරෝ අප්පු, දීනිස්, දූල්ලෑව දිසාව, ගන්නෑව කෝරාළ, කඳපොළ බස්නායක නිලමේ, හැවැන්පොළ කෝරාළ, කලුබණ්ඩා රටේරාළ, ගොලහැල දිසාව යනාදි පිරිසක් සහ දඹුලු විහාරාධිපති ගිරානේගම චන්දජොති, ලුණුකඩවැල්ල විහාරාධිපති පිලිමතලව්වේ ධම්මදස්සි යන භික්ෂුන් වහන්සේලා ඇතුළු විශාල නායකයන් පිරිසක් මෙම කැරැල්ල සඳහා එක් ව සිටි නමුත්, පාවාදීම් සහ ඔත්තු ලබාදීම් හේතුවෙන් 1848 නොවැම්බර් මාසය වන විට කැරැල්ල පාලනය කිරීමට හැකියාව ලැබුණි. කැරළි නායකයන් බොහොමයක් මරා දමනු ලැබුණි.
මින් පසු, නිදහස පතා සුද්දාට විරුද්ධව සිංහල මිනිස්සු නැගිට්ටේ නැත.
ඒ සියලු විරුවන්ට උපහාර වේවා!
------------
නිමේෂ තිවංකර සෙනෙවිපාල
ඡායාරූපය: සූරියගොඩ විහාරයේ අංගම්කාරයෝ
Comments
Post a Comment