අවිහිංසාවාදයේ මව වූ කස්තුර්බා මැතිණිය

අවිහිංසාවාදයේ මව වූ කස්තුර්බා මැතිණිය 
====================================
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි. 

සිරගත ව සිටිය දී ම මරණයට පත් වූ, නිදහස් ඉන්දියාවේ මාතාවගේ 153 වැනි සැමරුම අද යි. 

මහත්මා ගාන්ධි යනු අවිහිංසාවාදයේ පියා නම්, අවිහිංසාවාදයේ මව වන්නේ ඇය යි. 

ගාන්ධි යනු නිදහස් ඉන්දියාවේ පියා නම්, නිදහස් ඉන්දියාවේ මව වන්නේ ඇය යි. ඉන්දියානුවන් විසින්, 'බාපු' හෙවත් 'පියතුමා' යනුවෙන් ආදරයෙන් ඇමතූ 'මහත්මා ගාන්ධි' විසින් සිය භාර්යාව ආමන්ත්‍රණය කරන ලද්දේ 'බා' හෙවත් 'අම්මා'යන ආදරණීය නාමයෙනි. ඇය 'ඉන්දියාවේ මව' ද වූවා ය.

මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි (Mohandas karamchand Gandhi) හෙවත් මහත්මා ගාන්ධිගේ නීත්‍යනුකූල බිරිඳ වූ කස්තුර්බා ගාන්ධිගේ (Kasthurba Gandhi) 153 වැනි ගුණානුස්මරණය යෙදෙන්නේ පෙබරවාරි 22 වැනි අද දිනට ය. 

ගාන්ධිගේ අවිහිංසාවාදී සටන් භාවිතාව, ලංකාවේ නිදහස් ව්‍යාපාරය කෙරෙහි ඇති කරන ලද බලපෑම සුළුපටු නොවේ. ලංකා ජාතික සංගමයේ අධිරාජ්‍ය විරෝධය කෙරෙහි ඉන්දියානු අවිහිංසා සටන්වලින් ලද ආදර්ශය කිසිලෙසකින් හෝ අවතක්සේරු නො කළ යුතු ය. 

ඉන්දියාවෙන් පිටතට ද අවිහිංසාව පතුරුවා හළ, ගාන්ධිගේ බිරිඳ වූ, මේ ශ්‍රේෂ්ඨ ඉන්දියානු කාන්තාව උපත ලද්දේ 1869 අප්‍රේල් 11 වැනි දා ගුජරාටියේ දී ය. වර්තමාන ඉන්දියාවේ 'ජාතික මාතෘත්ව ආරක්ෂක දිනය' ලෙස සලකන්නේ ඇගේ උපන් දිනය යි. 

ඇය ගාන්ධි සමඟ විවාහ පත් වූවේ අවුරුදු 13 දී ය. ඒ වන විට ගාන්ධිට වයස අවුරුදු 14 කි. ඇය සිය පළමු දරුවා ප්‍රසූත කරන විට ඇයට අවුරුදු 15 ක් විය. එහෙත් අඩු වයසින් සිදු වූ ගැබ් ගැනීමක් බැවින්, එම දරුවා උපන් විගස ම මරණයට පත්විය. ඉන්දීය කාන්තාවන් මුහුණ වදන බරපතල සමාජ ගැටලුවක් වන බාලවයස්කාර විවාහ සහ ගැබ්ගැනීම් පාලනය ඇගේ අවධානය දිනාගත් මාතෘකාවක් වූවා පමණක් නොව, ඒ වෙනුවෙන් ඇය විසින් කළ කාර්යභාරය ද ඉතා වැදගත් වූවකි. 

අවිහිංසාවාදවේ පියා වූ නමුත්, මහත්මා ගාන්ධි වනාහි සාම්ප්‍රදායික ඉන්දියානු ස්වාමිපුරුෂයකු වශයෙන් කස්තුර්බා කෙරෙහි දැඩි පීඩනයක් ද මුදාහළ අයෙකු වූ බව විචාරකයන්ගේ අදහස වේ.

ගාන්ධි, 1906 දී බ්‍රහ්මචාරී ජීවිතයකට එළඹුණු නමුත්, කස්තුර්බා මැතිණිය මුළු ජීවිත කාලය ම සිය ස්වාමියා වෙනුවෙන් කැප කරන ලද්දේ එක් අතකින් ආශිර්වාදය ත්, අනෙක් අතින් දේශාභිමානය ත්, හිසින් ස්වාමි භක්තියත් ලබාගනිමිනි. හරිලාල්, මනිලාල්, රාම්දාස්, දේව්දාස් යනුවෙන් පුත්‍රයන් සිවුදෙනෙකුගේ මව ද වූ ඇය, ගාන්ධිගේ අධිරාජ්‍ය විරෝධීය දේශපාලන ගමන පසුපස සිටි දැවැන්ත සෙවණැල්ල ද වූවා ය. 

ගාන්ධි සිරගත වූ විට ඇය ද දුෂ්කර චර්යාවන් අනුගමනය කළා ය. ජීවිතය පුරා ම නිර්මාංශික ව, කටුක ආහාරවලින් යැපෙමින්, දළ රෙදි අඳිමින් ඇය ගචවූ දුෂ්කර ජීවිතය, බුද්ධ චරිතයේ යශෝධරාවට හිමි  තැනට දෙවැනි නොවේ. 

ගාන්ධි, නීතිඥ වෘත්තියේ යෙදීම පිණිස 1893 දී දකුණු අප්‍රිකාවට ගිය අවස්ථාවේ ඇය ද එහි ගියා ය. දකුණු අප්‍රිකාවේ වාසය කළ ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආරම්භ කරන ලද ව්‍යාපාරයේ ගාන්ධි සමඟ පෙරමුණේ ම සිටි ඇය, 1913 සැප්තැම්බර් 23 වැනි දා අත්අඩංගුවට පත් වූවා ය. එරට අධිකරණය විසින් ඇයට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී. සිරබත් කමින් සිටි උගත් කාන්තාවන් ලවා, එහි සිටි නූගත් කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීමේ වැඩපිලිවෙලක් ඇති කිරීම ඇගේ පළමු බන්ධනාගාර අත්දැකීම තුළ සිදු කළ වැදගත් කාර්යභාරයක් විය. දකුණු අප්‍රිකාවේ වෙසෙන අසරණ ඉන්දියානුවන් වෙනුවෙන්, 1904 වසරේ ක්වාසූලුනටාල් හි ෆීනික්ස් ජනපදය (Phoenix Settlement, Kwazulu Natal) ගොඩනගන ලද්දේ ඇගේ අප්‍රතිහත ධෛර්යයෙනි.

ගාන්ධි, දකුණු අප්‍රිකාවෙන් නික්ම යළිත් ඉන්දියාවට පැමිණියේ 1914 දී ය. අනතුරුව 1917 දී ආරම්භ කරන ලද බිහාරයේ චම්පාරන් (Champarana, Bihar) හි කාන්තාවන් බලගැන්වීමේ ව්‍යාපාරය පසුපස සිටි යෝධ සෙවණැල්ල වූයේ ද කස්තුර්බා මැතිණිය යි. නූගත් ග්‍රාමීය කාන්තාවන්ට සෞඛ්‍යය, පවිත්‍රතාව, විනය, කියවීම හා ලිවීම පුහුණු කිරීමට ඇය උර දුන්නා ය. 

ගුජරාටියේ, බොර්සාද් සත්‍යග්‍රහයට (Borsad Satyagraha) ද ඇය සක්‍රීය ව පෙරමුණ ගත්තා ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව ඍජු ව සහ වක්‍ර ව ජනතාව පෙළගැස්වීම වෙනුවෙන් ඇය විසින් කරන ලද මැදිහත්වීම් නිසා, ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එල්ල වූ පීඩනය කොතරම් ද යත්, කිහිප වතාවක් ම ඇය සිරගත කරන්නට ඔවුන් විසින් කටයුතු කෙරිණි. 1939 රාජ්කොත් (Rajkot) හි පැවැති අවිහිංසා සටනට ද ඇය එක් වූවා ය. 

1942 දී නැවතත්, සිය ස්වාමියා වූ ගාන්ධි සමඟ සිරබත්කන්නට කස්තුර්බා මැතිණියට සිදු වූයේ, ඉංග්‍රීසි ආණ්ඩුවට ඉන්දියාවෙන් බැහැර වන මෙන් සිදු කළ මහා උද්ඝෝෂණ ව්‍යාපාරය අතරවාරයේ දී ය. ශරීර සෞඛ්‍යය කෙතරම් දුර්වල ව තිබුණත් මුළු ජීවිත කාලය පුරා ම ඇය සිය සටන අත නොහැරියා ය. කස්තුර්බා මැතිණිය කෙරෙහි අධිරාජ්‍ය විරෝධී චෝදනා ගොනු කළ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය රජය විසින්, අගා ඛාන් මන්දිරයේ (Aga Khan palace) පවත්වාගෙන ගිය සිපිරි ගෙයි ඇය සිරගත කරන ලදී. ඇය මරණයට පත් වූයේ ද එම සිපිරිගෙයි දී ම ය. සිරගෙයි සිටිය දී ම, 1943 දී ගාන්ධි ආරම්භ කළ දින විසි එකේ උපවාසයට සහය පළ කරමින්, කස්තුර්බා මැතිණිය ද ආහාර වර්ජනය කළා ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 73 කි. 

අවසන් වරට ඇය දකිනු වස් ඇය රඳවා සිටි සිර කුටියට පැමිණි මහත්මා ගාන්ධි, ඇගේ හිස සිය උරහිසට ගෙන සැනසූ බව කියනු ලැබේ. කෙසේ වෙතත්, ඇය එම වසරේ පෙබරවාරි 23 වැනි දා පස්වරු 7.35 ට, සිරගත ව සිටිය දී ම, හෘදයාබාධයක් හේතුවෙන් සිය ජීවිතය අවසන් කළා ය. 

ඇගේ මරණය හේතුවෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට එල්ල වූයේ බලවත් අපවාදයකි. ඉන් මිදීම පිණිස උපරිම රාජ්‍යානුග්‍රහය ලබා දී සඳුන් දර සෑයක ඇගේ දේහය ආදාහනය කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව සූදානම් විය. 

එහෙත්, ගාන්ධි ඊට විරුද්ධ වූණේ ය. 

"ඇය ධනවතෙකුගේ බිරිඳක් නොවේ. දුප්පතෙකුගේ බිරිඳකි. සාමාන්‍ය මිනිසුන් මෙන් ඇගේ සිරුර ද පිළිස්සිය යුත්තේ සාමාන්‍ය දර සෑයක ය. ධනවතුන් කරන පරිදි ඇයගේ දේහය දවාලීම ඇයට කරන බලවත් ම නින්දාව යි.“ යනුවෙන් ගාන්ධි කීවේ ය. 

අනේක විධ දුෂ්කරතා මධ්‍යයේ වුව, ගාන්ධි සමඟ ගත කළ ඇගේ විවාහ ජීවිතය අවුරුදු 62 ක් විය. ගාන්ධි, අවිහිංසාවාදයේ පියා වූවේ, කස්තුර්බා අවිහිංසාවාදයේ මව වූ නිසා යැයි මම සිතමි. 

ඡායාරූප: 

1. කස්තුර්බා ගාන්ධි සහ මහත්මා ගාන්ධිගේ දෙවැනි පුත්, මනිලාල් මොහාන්දාස් ගාන්ධිගේ (Manilal Mohandas Gandhi, 1892 - 1956) දියණිය හෙවත්, ගාන්ධි යුවලගේ වැඩිමල් මිණිබිරිය වන එලා ගාන්ධි (Ela Gandhi) මැතිණිය සමඟ Nimesha Thiwankara Senevipala දකුණු අප්‍රිකාවේ ෆීනික්ස් ජනාවාසයේ දී. 

2. කස්තුර්බා ගාන්ධි මැතිණිය 

3. කස්තුර්බා ගාන්ධි මැතිණියගේ සුසාන ස්මාරකය 

4. මහත්මා ගාන්ධි සහ කස්තුර්බා ගාන්ධි යුවළ

නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි. 
Nimesha Thiwankara Senevipala








Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books