ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙවි මහරාජොත්තමයාණන් වහන්සේ වෙත ලියා ඔප්පු කර හිටින වග නම්෴

 ශ්‍රී වික්‍රම රාජසිංහ දෙවිමහරජ්ජුරුවන් වහන්සේ උකුත් වෙලා අවුරුදු 190 ක් පිරෙන්නේ අද දිනට ය. මේ පවත් ඒ වෙනුවෙන් ලියා දක්වන වගයි෴





පස්වාන්දහසකට දෙයියෝ බුදුවෙන්ඩ අවසරයි මහරජ්ජුරුවන් වහන්ස෴


බුදුන් සක්විත්තන් උපදනා දඹදිව් රටේ, මධුරා පුරේ උප්පත්තිය ලබා, මේ ශ්‍රීලංකාද්වීපයට වැඩම කරවලා සෙංකණ්ඩශෛලාභිධාන ශ්‍රීවර්ධන පුරේ කියන මේ ගලේ නුවර රජපදප්‍රාප්ත වෙලා තුන් සිංහලේටම දිවස් ලා යෙහෙන් වැඩ වදාළ ශ්‍රී වික්‍රම රාජසිංහ 

අපගේ අන්තිම මහරාජොත්තමයාණන් වහන්සේට කියා ඔප්පු කරන වග නම්෴


එක්දාස් හත්සිය අනූ අට වරුසේ ඇසළ මාසේ විසි හය කියන තිථිය ලත් ගුරු දා රාජාධි රාජසිංහ දෙවි මහරාජොත්තමයා උකුත් උනායිං පස්සේ, පිලිමතලව්වේ දඹගමුවේ කියන නිලමක්කාරගොල්ලන්ගේ අත්ඉටිස්සරකමකින් වේවා වෙන යම් මායමකින් වේවා කන්නසාමි අස්ථාන කියන නුඹවහන්සේ මේ ශ්‍රී ලංකාද්වීපයේ  මහරජ්ජුරුවන් විදිහට ඔටුනු පැළැන්දාම, ඒ වෙද්දි මූදුකරේ රැකවල් ලාගෙන හිටපු ඕලන්දක්කාරයනුත් සලිත වුණාය෴


නාථ දෙවිහාමුදුරුවන්ගේ බැල්ම වැටී ශ්‍රී වික්‍රම රාජසිංහ දෙවි මහ රාජොත්තමයා කියන නම ලබා, උඩුනුවර, යටිනුවර, හේවාහැට, හාරිස්පත්තුව, තුන්පනේ කියන මේ කන්ද උඩ පස්රට ප්‍රධාන හතර කෝරළේ, හත් කෝරළේ, පුත්තලම, ඌව, මාතලේ, සබරගමුව, තුන්   කෝරළේ, පාත බුලත්ගම, වෙල්ලස්ස, වියළුව, බින්තැන්න, නුවර කලාවිය, තමන්කඩුව, මීමුරේ, කොත්මලේ කියන මෙකී නොකී රටවලට දිවැස් ලා තෙදබල පතුරුවාගෙන ශැක්‍රදේවේන්ද්‍ර ලීලායෙන් වැඩ වදාළ  ඔබවහන්සේ මේ ලංකාද්වීපයේ අන්තිම මහ 

රජ්ජුරුවන් වහන්සේය කියා අපි තුන් හිතකින්වත් කල්පනාවට නොගත්තාය෴


මුද්දාසාමි කියන මේ අත්ඉටිස්වරකාරයා මූදුකරේ සුද්දාගේ පැත්ත ඇරං ඔබවහන්සේට 

හදිකරවන්ට ගත්තු වෑයමට මේ මහීකාන්තාව සාක්කි දරනවා ය. එක්දාස් අටසිය තුන වර්සයේ මැක්ඩොවිල් කියන ඉංගිරිසි ජනරාලා එක්ක බාරුබට්ට ජනරාලාත් එක්කහු කරගෙන ඉංගිරිසි තුප්පාසි කන්නඩි ජා සිපයි හමුදාව මේ සෙංකඬගල නුවරට ගෙනල්ලා ඔබවහන්සේට හදි කරවන්ට ඒ මුද්දාසාමි කියන වසදුනා වෑයම් කළාය෴


ඒ වෙලාවේ අප දෙවි මහරාජොත්තමයාණන් 

වහන්සේ උදාර සිංහ ලීලායෙන් හඟුරන්කෙත 

දියතිලක නුවර සිංහාසනයට වැඩමවා වදාළාය. ශ්‍රී හස්තයට ගත් මගුල් කඩුව ළෙලවා, මතැත් පිට නැගී එක අණින් රට හතම සමන්නාගෙන පලීපාන, මත්තමගොඩ, මොලදණ්ඩේ, දොරණෑගම, මඩුගල්ලේ, දෙහිගම, වෑත්තෑවේ, මුල්ලේගම, ඇහැලෙපලේ, ගලගොඩ, අරාවේ සෙනෙවිරත්න, පුස්සැල්ලේ ඈ මේ මහමන්ත්‍රීස්වරයන් පිරිවරාගෙන 

අසුර යුද්ධයට යන ස්කන්ධ කුමාර ලීලායෙන් ගලේ නුවරට වැඩම කළාය෴


විසිදාහක් විතර මහඅතපත්තු, අංගක්කාර, පොරෝකාර, තුවක්කුකාර, ජා කවිසි උරුමුසි හේවාපන්න එකපැහැර ඉංගිරිසිකාරයන් සාධා ගලේනුවර ගලවාගෙන, මුත්තුසාමි, ගලිබිලිසාමි කියන අත්ඉටිස්සරකාරයන්ට  දෙතිස්වධ පැමිණෙව්වා ය. ඉතුරු  ඉංගිරිසිකාරයන්ගේ හිස් වාගොල්ලේ ගොඩ කළාය෴


ඒ වග කාව්‍යක්කාරයෙක් මෙසේ ලියා තිබේ෴


මැල්ලා නොවමින් අපෙ උඩරට අල්ලා කන්නට කර ආලෙ

සොල්ලාදුවො සහ විත් සිටියට වැල්ලා පිටිකර බැඳ තැලෙ

එල්ලාගෙන ගොස් යුද සිරි ඇරපල්ලා කියමින් සිට දැලෙ

දුල්ලා අප හිමි වනසා රුපුගොල්ලා යස දස දිඟු පෑලෙ


මෙසේ දුර්මුඛ වූ නමුත්, යළි පලිගනිමුවැයි වහසි දොඩා මඩකලපුවේ සිට රට වනසමින් ගලේ නුවර අල්ලන්නට ආ කපිතාන් ජාන් නමැති කප්පිත්තෙකුත් පලවා හැර, පරශත්‍රැ අන්ධකාර දුරලා මෙසේ මේ ගලේ නුවර රාජ්ජය කරන කල්හි, ඒ නුවර මැද්දට කිරිමුහුදක් කරවා, ඒ මැද්දට තිලකයක් බඳු දියතිලකයක් ද කරවා, පත්තිරිප්පු, මඟුල් මඩු, දළදා ගෙවල්, බෝ ගෙවල්, උල්පැන්ගෙවල්, මාළිගා’දිය කරවා, අස්ගිරි මල්වතු වෙහෙර බඳවා, දෙයියන්නේවෙල වීගුලවත්ත ගුරුදෙණිය අස්වද්දා උතුම් දළදා පූජා නොපමණ කරවා, ඉරහඳ පවතිනා තෙක් විහාර දේවාල නඩත්තුවට ගම්වර පුදා ශක්‍ර දෙවෙන්ද්‍ර ලීලායෙන් ඒ නුවර වැඩ විසුවාය෴


මෙසේ හිටිනාතර, මීගස්තැන්නේ දෙවැනි 

අදිකාරමත් මායමකින් මරවා, පිලිමතලව්වේ ප්‍රධාන රදලගොල්ලගේ අත්ඉටිස්සරකමකින් සිද්ධවුණ උඩුනුවර යටිනුවර සංගෙ හස්තයට ගත් නෙළුම සේ මැඩලා සිංහලේ සාධා වැඩ විසූ ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙවි මහරාජොත්තමයාණන් වහන්සේ ඉන් මෑත  බොහෝ වෙහෙර විහාර දේවාල බඳවා ලෝකසාසන කෘත්‍යය සිද්ධ කළාය෴


ඇහැලපලේ කියන දුර්ජනයා ඉංගිරිසින්ට මුලාසීව ගොස් ඔබවහන්සේ කෙරෙහි රටවැසියා බිඳවන්ට වෑයම් කළාය. ජොන් ඩොවිල් කියන සුද්දාගේ මායමට වැටී සබරගමුවේත් හත් කෝරළේත් රටවැසියා උසිගන්වා ඉංගිරිසි ගවර්ණදෝරු තැනට 

පක්ෂපාතීකම් කළ ඇහැලපලයා අල්ලාගත  නුහුණු තැන, මහාසම්මත පරම්පරානුගත පුරාණ රාජනීති යුක්ති ධර්මතා නොඉක්මවා, ඒ ජඩයාගේ දරු පවුල මරවන්ට සිද්ධ වුණා ය කියන කාරණේ වසන් කරවා, අප දෙවි මහරාජොත්තමයාණන් වහන්සේගේ දොස්ම කියා රට වැසියා උසිගැන්නුවාය. පරණාතල උන්නාන්සේ මැරෙව්වාය, මාම්පිටියේ වාහල බණ්ඩාර මැරෙව්වාය, මීගස්තැන්නේ දෙවැනි අදිකාරම මැරෙව්වාය, පුස්සැල්ලේ දිසාව  මැරෙව්වාය, පාතරට වෙළෙන්දන්ගේ ඇස් කන් 

නාසා සින්දාය කියා රටවැසි හැම නොමග යවා  ඔබවහන්සේගේ කීර්ති රශ්මිධාරාව පලුඳු 

කෙරෙව්වාය෴


උප්පත්තියෙන් වඩුග කී නමුත්, මේ කන්දේ නුවර ඔබ තරම් සමර්ථ රජෙක් නොහිටි වග 

පහුකාලෙක ඔප්පු වෙලා තියෙනවාය෴


වර්ෂ එක්දාස් අටසිය පහළොවේ දුරුතු මාසේ 

එකොළාස් වැනි දා කොළොඹින් ආ ඉංගිරිසි 

සේනාවත් එක්ක ඇහැලපලෙ ද්‍රෝහියාත් 

එක්නැලිගොඩ ද්‍රෝහියාත් එක්කාසු වුණා ය. විජය මහ රජ්ජුරුවන්ගේ පටන් නොකඩ කරගෙන ආ සිංහල ආණ්ඩුව පර සුද්දාට පාවා දී සියතින් ඔප්පු කරපු ඇහැලපලේ මොල්ලිගොඩ එක්නැලිගොඩ ඇතුලු දුර්ජන ගොල්ල, එම වර්සයේ ම නවම් මාසේ දී ගලේ නුවර ජය භූමියේ ඉංගිරිසි කොඩි නැංගුවාය෴


අප දෙවි මහරාජොත්තමයාණන් වන ඔබවහන්සේ නවම් මාසේ එකොළොස් වැනි දා දුම්බරට වැඩියාය. මැදවාහල මහදේවීන්නාන්සේත්, පල්ලේවාහල දේවීන්නාන්සේත්, අමුණුගම බත්වඩන නිලමේත්, මඩුගල්ලේ හලුවඩන නිලමේත්,  මඩුගල්ලේ රටේමහත්තයාත්, පොල්වත්තේ 

මඩප්පුවාත්, තල්මුකේ පයිංඩකරන නිලමේත්, අරත්තන මූලාචාරියාත්, අඹගස්තැන්නේ ලේකමත් හැරුණාම අප දෙවි මහරාජොත්තමයාණන් වහන්සේගේ රක්ෂාවරණෙට වෙන මොකෙකුන්වත් හිටියේ නැත. රට පහේම නිලමක්කාරගොල්ල 

ඇහැලපලයාගේ වඤ්චාවට හසුව දෙවි 

මහරාජොත්තමයාණන් වහන්සේ පවා දුන්නාය෴


ශක්‍රදෙවෙන්ද්‍රයා වාගේ වැඩ උන්න අප 

දෙවිමහරාජොත්තමයාණන් වහන්සේ මැදමහනුවර බෝමුරේ ආරච්චිගේ වලව්වේ වී අටුවේ සැඟවගත් වග අපට වාවන්නේ නැත෴


ඇසළෙහි පසළොස්වක ලත් රෑ දින

ගුරුළෙකු ඇවිදින් රතු වත් ඇඳගන

සුරතින් මහ මී වදයක් අරගෙන

මෙලෙසින් කීවේ අප හට සීනෙන


කියා හීනයක් ඔබවාන්සේ දුටුවේ එදා රාත්‍රියේ ය෴


හැංගී හිටි තැනින් ඔබවාන්සේත්, බිසෝබණ්ඩාරලාත් අල්ලාගෙන ආ හැටි ගැන, ඩී. වී. ඒ්. දියෙස් කියන තුප්පැහි නිලමේ මෙසේ ලියා තිබෙනවා ය෴


“...මම, එක්නැලිගොඩ මොහොට්ටාලත් සමඟ වෙලේ ඇවිදින්නට පිටත් වුනාය. ඔහු සමඟ සපරගමුවේ පන්සියයක් පමණ සෙනඟ ද ඉඹුලන්වල ආරච්චි සහ යටිපහුවේ කංකානම ද සමඟ යන විට වයස දහයක දොළහක 

කොළුගැටයෙක් දුවනවා දැක එලවාගන ආවාම මහත් භයෙන් වැඳගෙන, “දෙවි හාමුදුරුවෝ වැඩ සිටින තැන් මම පෙන්වා දෙඤ්ඤං” කීවාය. එතකොට එක්නැලිගොඩ මොහොට්ටාල මේ කොළුවාගේ තුනටියේ වැල් පොටක් බන්දවා අල්ලාගෙන ඉස්සර කරගෙන අපි සෑම දෙනා ම ගියා ය. ටිකදුරක් ගිය පසු “ඔන්න දෙවි හාමුදුරුවෝ 

මාළිගාවට ඉහළින් තිබෙන ගහ” යි නුග ගහක් පෙන්නුවා ය. එතනට අපි ළංවුණු විට පියා තිබුණු ගෙයි දොර ළඟ ආරච්චිගෙයි ගෑණු දෙන්නෙක් සිටියා ය. මිදුලේ සැතපෙනගෙයි අප්පුහාමි කෙනෙක් ලංසයක් ගෙන සක්මන් 

කරමින් සිට “හා... එක්නැළිගොඩ රාළ... කොයි යනවා ද?” ඇසුවාම “අපිත් මෙහාට ආවා තමයි” කී විට සැතපෙන ගෙයි අප්පුහාමි අතේ තිබුණ ලංසයෙන් එක්නැළිගොඩට ඉතා ම සැරෙන් ඇන්නා ය. ඒ ඇනුම ඔහුගේ වාසනාවෙන් 

නොවැදී ලංසේ බිම ඇනී කැබලිවලට කැඩී ගියා ය. එවිට සපරගමුවේ මිනිස්සු ඔහු අතින් අතට ඉහළට ගත්තා දුටුවා මිස ඔහුගේ ශරීරට මක්වුණා ද නොදනිමි. එවිට එක්නැළිගොඩ ගෙයි දොර ළඟට ගොස් රජ්ජුරුවන්ට දොර 

අරින්ඩ කීවා ය. රජ්ජුරුවෝ දොර නෑර “එක්නැළිගොඩ අපේ නෑයා ද?” ඇසුවා ය. “ඒ මම තමා... දොර අරින්ඩ. යම් යුද්ධ 

ආයුධ ඇත්නම් එළියට දමන්ඩ” කිවුවා ය. එතකොට සොරොව්වකින් රිදී වැඩ කළ වඩන තුවක්කු තුනක් ද ක්‍රිස් දෙකක් ද එළියට දැම්මා ය. එහෙත් රන් කඩුව එළියට දමන්ඩ කිව් නමුත් නොදැම්මා ය. එතකොට  එක්නැළිගොඩගේ කීම පිට මිදුලේ තිබුණු වංගෙඩි ගෙන දොරට ගැසුවා ම දොර පැලී ගියා ය. ඉන්පසු හබරගමුවේ මිනිස්සු ගෙට වැද කෝලහාල කොට දේවීන් වහන්සේලාගේ 

ඇඳුම් පැළඳුම් කඩාගෙන රෙදි හතර රියන පිටින් දොරට දැම්මා ය. එවිට දේවීන්නාන්සේලා දෙනම ඒ මේ අත බෙලි කපාපු කුකුලෝ වගේ පෙරලෙමින් සිටින අතර ගෙට නොවැදී කිසිවක් නොකර මගේ මිනිස්සු දෙන්නාත් සමඟ 

සිටි මම “අම්මයියාර් නීංග පයප්පංඩ වාංඩම් ඉංගාලේ වාංගෝ” කීමි. එවිට ඔවුන් දෙදෙනා “නාංග කාපාත්ති කෝංගෝ” වචනයෙන් මගේ දෙවුරේ එල්ලී ගත්තා ය. විනාඩි කීපයක දී මගේ රෙදි ලේ පෙවී තිබී බලනකොට 

බිසවුන්නාන්සේලාගේ කුන්ඩලාභරණ කඩා ගනිද්දී කන් ඉරා දමා තිබුණා ය. ඒ ලේවලින් මගේ රෙදි තෙමුණා ය. ඒවායින් වූ තුවාලවලට ඉඹුලන්වල රාළ ලවා බෙහෙත් කොටවා ලේ 

හිටෙව්වෙමි. රජ්ජුරුවන් වහන්සේ බලාත්කාරයෙන් එළියට දමා “වර තොගේ අප්පාට බාර දෙන්ට”යි පරුෂ වචන 

එක්නැළිගොඩ කීවා ය. “මා මරන්ඩ ඕනෑනම් මරාපල්ලා, කැමති දෙයක් කරපල්ලා, මට පයින් යන්ඩ බැරිය” යි රජ්ජුරුවෝ කීවා ය. “දෙවිහාමුදුරුවෝ, ස්වාමින්වහන්සේ, 

දෙමාපියෝ ය කියූ රජ්ජුරුවන් වහන්සේ බැඳ අපහාස වශයෙන් නෙරක්කු කිරීම යුතු නැත” යි කීමි. එතකොට එක්නැළිගොඩ මට බොහො ම තදබලයෙන් “ඔතන කීම ගන්ඩ අපි මෙහෙ ආවා නොවෙ” යි කියා රජ්ජුරුවන් බඳින්ඩ 

ජෝඩු වුණා ය. මෙසේ රජ්ජුරුවන්ඩ කරන අපහාස වෙහෙස මහත් වික්ෂෝපයෙන් බලා කණගාටුව දරාගන්ඩ බැරුව මගේ කරේ සාලුව ගලවා “මේකෙන් බඳින්ඩ” කියා ඒක දුනිමි. 

රජ්ජුරුවන් ඇල්ලූ බව ඩොයිලි උන්නාන්සේට ලියා අරින පිණිස කඩදාසි සහ පොත්ලොක්කූර ගන්ඩ උත්සාහ කළ මුත් දේවීන්නාන්සේලා දෙන්නා මගේ උර දෙකේ එල්ලී සිටි නිසා 

නුපුළුවන්ව යටිපහුවේ කංකානමට කියා මගේ සාක්කුවෙන් අරගෙන ඔහුගේ පිටේ තබා මෙසේ ලීමි. ඒ නම්, “ඩොවිල් උන්නාන්සේ බලාගන්නා පිණිසයි. සිංහලේ රජ්ජුරුවෝ අපට 

අසුවුණා ය. එක්නැළිගොඩ රජ්ජුරුවන්ඩ බොහෝ නෙරෙක්කු කොට අපහාස වශයෙන් බැඳගෙන එනවා ය. දෝළා ගණනකුත් ගෙන තමුන්නාන්සේ කඩිනමින් මෙහි එන්ඩ ඕනෑ ය. රජ්ජුරුවෝ සහ බිසවුන්නාන්සේලා 

නිර්වස්ත්‍රව වාගේ සිටින නිසා රෙදිත් ගේන්ඩ ඕනෑය.” යනු යි. මේ ලියුම බොහො ම ඉක්මනින් යටිපහුවේ කංකානම අත යැවුවා ය. සිංහල පැයක් යන්ට පෙර කර්නල් හාර්ඩි හුක් 

ඇතුළු භට පිරිසක් පැමිණ බිම එල එලා තල්ලු කරගෙන රජ්ජුරුවෝ ඇදගෙන ගිය සපරගමුවේ මිනිස්සුන්ට කස පහරවල් ගසා එළවා දමා අස්සයන් පිටින් බැස තොප්පි 

ගලවා රජ්ජුරුවන්ඩ දණ නමස්කාර කොට සැප පහසු විභාග කළා ය.”


මෙසේ ඉංගිරිසිකාරයා වෙත පාවා දෙනු ලැබූ 

දෙවිමහරාජොත්තමයාණන් වහන්සේ සහ 

බිසෝබණ්ඩාරලා කොළඹ ගෙනවුත් හිර  බන්ධනයෙහි ලා තබා එක්දාස් අටසිය දාසයේ දුරුතු විසි හතර වැනි දා මධුරාවේ වෙල්ලෝර් කෝට්ටයට යවන්ට නියම කළාය෴


ත්‍රිසිංහලාධිස්වර වූ ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙවි 

මහරාජොත්තමයාණන් වහන්සේ වෙල්ලෝර 

කෝට්ටයේ හිරකාරයෙකු හැටියට ජීවත් වුණාය෴


ශ්‍රී ලංකාද්වීපයේ උතුම් මහරජ්ජුරුවන් වහන්සේ පනස් දෙවසක් ආයු වළඳා වර්ෂ එක්දාස් අටසිය තිස්දෙකේ දුරුතු තිස් වැන්නේ රාජශ්‍රීය අතහැර දමා බුදු බෝසතුන් උපදිනා තව්තිසාවේ උපත ලැබුවාය෴


මේ ලංකා භූමියට ඔබ වන් රජෙක් ඉන් මෑත පහළ වූයේ නැත. ඔබවහන්සේට හදි කළවුන් එක්දාස් අටසිය දහඅටේ සුද්දාගේ තුවක්කුවෙන් ම නැසී ගියාහුය. දෙවැනි රජ්ජුරුවෝ යැයි ඔබවහන්සේ විසින් සලකා කටයුතු කළ කෙළෙහි ගුණ නොදත් ඇහැලපලේ දුර්ජනයා මුරුසියේ දී කිසිවෙකුගේ පිහිටාධාරයක් නොලැබ මලාය. දෙවි මහරාජොත්තමයාණන් වහන්සේට  නිස්කාරණේ කරනු ලැබූ නොකටයුත්ත සාපයක් වෙලා අවුත්, කන්ද උඩ පස්රටේ රදලගොල්ල නැත්තට නැති වෙලා ගියාය. ඔබවහන්සේගෙන් පසු අපට රජෙක් හිටියේ නැත෴


දෙවි මහරාජොත්තමයාණන් වහන්සේ අල්ලා 

දුන්නායින් පසු ඔබවහන්සේ දෙවි කෙනෙකුන් සේ සලකා අලුත් දෙවියො යැයි කියා මල්යහන් 

කෝල්මුර නානුමුර අලුත්සහල් කළාය. එසේ මුත්, සිදුවුණා වූ නොකටයුත්ත හරිගැස්සුණේ නැත.ඔබවහන්සේගේ රාජ්ජය දැන් සිංහලගොල්ලටත් අයිති නැත෴


ශ්‍රී වික්‍රම තෙද සුරිඳුගෙ බලයෙන්

පෑ වික්‍රම සිරි ලක්දිව ශම තැන්

මේ ඔක්කොම අප හට කරුනාවන්

රෝ දුක් දුරු කර සිරි දී රැකදෙන්


තෙද ගිනි පත්තිනි සුරිඳුගෙ බිසවුන්

විඳ දී සිරිශප පිරිවර අඟනන්

සිඳ හැර රෝ දුක් සිරිසෙත සලසන්

සොඳ කරුනා ලැබ අප ශම රැකදෙන්


තිස්තුං කෝටිය දෙවි අනුහසයෙන්

පස්වා දහසක් ශාසන රකිමින්

දොස් දුරලා නිති සිරිසෙත් සලසන්

තොස් කර මේ අප ශම දෙවි රැකදෙන්


ඒ වගත් මෙසේ ම,


ඔබවහන්සේට එදිරිවාදීකමට පිලිමතලව්වේ මුල් අදිකාරමට පක්ෂපාතී වුණ දවුලගල මුදලි 

පරම්පරාවයි, දෙවි මහරාජොත්තමයාණන් 

වහන්සේගෙ කූණම් මඩුවේ රාජකාරි කරලා, සීනා කෝරළේ කඩවත් මුරේ කරවන්ට පත්කරවාපු හිතපක්ෂපාතී වන්නි පරම්පරාවයි වෙනුවෙන්෴


 

නිමේෂ තිවංකර සෙනෙවිපාල වම්හ෴

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books