උඩරට රජුන්ගේත්, හන්දුරුවන්ගේත් සැට්ටය හැඩ කළ මන්තය
උඩරට රජුන්ගේත්, හන්දුරුවන්ගේත් සැට්ටය හැඩ කළ මන්තය
=====================================
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි
=====================================
වර්තමානය වන විට උඩරට සාම්ප්‍රදායික ඇඳුම සමඟ මන්තය යොදන බවක් අප දකින්නේ නැත. එහෙත් එහි මුල් අවදියේ මන්තය, එම ඇඳුමේ මූලිකාංගයක් වශයෙන් භාවිත වූ බව පෙනෙන්නට තිබේ. සැට්ටයේ කර වටා සම්පූර්ණයෙන් ම ආවරණය වන සේ අඩියකට මදක් වැඩි විශ්කම්භයකින් යුතු රැලි මන්තයක් මුල් අවදියේ භාවිත වුවත්, 1800න් පමණ පසුව එය අඩ මන්තයක් ලෙස භාවිත වන්නට පටන් ගත්තේ ය. එසේ තිබූ මන්තය 1900න් පමණ පසු සම්පූර්ණයෙන් ම උඩරට ඇඳුමෙන් ඉවත් වූ අතර, වර්තමානයේ එවන් මන්ත භාවිතයක් පැවති බව හෝ දන්නේ අල්ප වූ පිරිසක් පමණි.
උඩරට සැට්ටයට ඉහාලින් ගෙල වටා වැසී යන සේ රැළි මන්තය යෙදීමේ ආරම්භය වන්නේ කෝට්ටේ යුගයේ අග භාගයේ යි. සිංහල හන්දුරුවන්ගේ වස්ත්‍රය සකස් වීම කෙරෙහි සාධනීය බලපෑමක් කෝට්ටේ යුගයේ දී ලැබුණු අතර, ඉන් එකක් වූයේ යට කී මන්තය එකතු වීම යි. ඊට බලපෑවේ, සමකාලීන ප්‍රතිකාල් ප්‍රධානීන් විසින් භාවිත කරන ලද Ruff නම් කපු රෙද්දෙන් සකස් කළ කරවට වැස්ම යි. මෙහි ආරම්භය ස්පාඤ්ඤයේ සිදු වූ අතර, සමකාලීන ව ප්‍රතිකාල් ප්‍රධානීන් විසින් ද සුලබ ව භාවිත කරන ලදී. ඉන් ප්‍රෞඩත්වය සහ විසිතුරුබව විශද කරන ලද අතර, මෙරට ප්‍රභූ ප්‍රධානීන් අතර ද එය ජනප්‍රිය විය.
පළමුවැනි විමලධර්මසූරිය රජුගේ රාජකීය සැට්ටය මතින් එවන් Ruff කරවට වැස්මක් යොදා ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි ය. එතැන් පටන් මහනුවර රජුන්ගේ නිල ඇඳුමට මන්තය එක් වූ ආකාරය පැහැදිලි ව හඳුනාගත හැකිය. ඕලන්දයේ රික්ස් කෞතුකාගාරයේ ඇති රාජාධි රාජසිංහ, දඹුලු විහාරයේ කීර්ති ශ්‍රී රාජසිංහ මෙන්ම, ශ්‍රී වික්‍රම රාජසිංහ ද මන්තය සහිත රාජකීය සැට්ටයට ඉහළින් මන්තය භාවිත කර ඇත.
ශ්‍රී වික්‍රම රාජසිංහ
නොක්ස් පැමිණි සමයේ කිසිදු රදල ප්‍රධානියකු විසින් මන්තය සහිත සැට්ටා හැඳි වගක් නොපෙනේ. එසේත් මහනුවර රාජධානියේ මැදි භාගය පසු වන විට හන්දුරුවන්ගේ ඇඳුමේ උපරිභාගයේ සැට්ටයට ඉහළින් රැළි සහිත සම්පූර්ණ වට මන්තය භාවිත කර තිබේ.
සම්පූර්ණ මන්තය ඇඳීමේ දී වට මන්තය යොදාගෙන ඇතත්, මහනුවර යුගයේ අග භාගයේ විවෘත සැට්ට භාවිතාව ආරම්භයත් සමඟ වට මන්තය වෙනුවට අඩ මන්තය යොදාගෙන තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ දී හන්දුරුවන්ගේ ඇඳුමෙන් සම්පූර්ණයෙන්ම මන්තය ඉවත් විය.
මන්තය හැඳීමෙන් අපේක්ෂා කළ එක් ප්‍රධාන අරමුණක් වූයේ ගෙලට ගැටගසන ලද කෙස් වැටියේ ඇති තෙල්, කසව් සැට්ටයේ තැවරීම වලක්වාලීම බව කොඩ්රින්ටන්ගේ අදහස යි.
කෙසේ වෙතත්, උඩරට හන්දුරුවන්ගේ ඇඳුම වනාහි අතිශය සංකීර්ණ ජාත්‍යන්තර සංස්කෘතිකාංග සංකලනයක් බව ඉතා ම පැහැදිලි ය.
=====================================
කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න
Nimesha Thiwankara
Nimesha Thiwankara II







Comments
Post a Comment