අලි ඇතුන්ගේ නැටුම හෙවත් Zoochosis වන්නම
අලි ඇතුන්ගේ නැටුම හෙවත් Zoochosis වන්නම
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි
=============================
අලි අතුන් වනාහි ආකර්ෂණීය සත්ව විශේෂයකි. දීර්ඝකාලීන සංස්කෘතික සංචාරයේ සෑම කල් හි ම, ප්‍රවාහන, ආරක්ෂක සහ ආගමිකා අධ්‍යාශයන් සපුරාගැනීම වෙනුවෙන් අලි ඇතුන් වෙත සුවිශේෂී අගයක් ආරෝපණය වී ඇත. දේශීය වශයෙන් ද අලි ඇතුන් ආශ්‍රිත සංස්කෘතිය චිරාත්කාලයක් පැවතෙන අතර වර්තමානය වන විට ප්‍රවාහන සහ ආරක්ෂක යන අවශ්‍යතා දෙක ම ඉවත් වී ඇති නමුත් 'ආගමික' අවශ්‍යතාව යන්න පමණක් බරපතල ව ශේෂ වී ඇත. ඉතා ම සරළ ව කිවහොත් ප්‍රවාහන සහ ආරක්ෂක කාර්යයන් සඳහා අලි ඇතුන් යොදවාගැනීමෙන් අපේක්ෂා කළ කාර්යයන්, දියුණු තාක්ෂණික විකල්පයන් මගින් සංතෘප්ත වී ඇත්නම් ආගමික අවශ්‍යතා පමණක් අහිංසක තිරිසනුන් මගින් සපුරා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ මන්දැයි සාධාරණ ගැටලුවක් පැනනගියි.
ඒ කෙසේ වෙතත් ආගමික අවශ්‍යතා සඳහා අලි ඇතුන් යොදවා ගැනීම පිළිබඳව කතා කරන විට ශ්‍රද්ධාවන්ත බෞද්ධයා බැතිබර වෙයි. විරෝධාකල්පධාරී සත්ව අහිංසාවාදීන් කෙරෙහි බලවත් උමතුවෙන් දොස් පවරයි. අලි ඇතුන් බොහෝ ප්‍රියමනාප අන්දමින් පෙරහැර සමය එළඹෙන තුරු බලාසිටින බවත්, කරඬුව කෙරෙහි බැතිමත් ම එය ඔසවාගෙන යන බවත්, බෙර හඬට අලි නටන බවත් යනාදි කතා බෞද්ධයන්ගේ මුවින් නිතර ඇසේ.
අලියාගේ කැමැත්ත අකැමැත්ත කෙසේ වෙතත් පෙරහැරේ යන අලි නටන්නේ යැයි කියනු ලබන කතාව ගැන යම් පැහැදිලි කිරීමක් සඳහා මෙම සටහන ලියනු රිසියෙමි.
අලි නටනවා'ය යනුවෙන් අර්ථකථනය කරනු ලබන්නේ අලියා විසින් සිය හිස, හොඬ, පාද කිසියම් ආකාරයකට චලනය කරනු ලැබීමකි. ඇතැම් පෙරහැර පසුබිම් කථකයන් විසින් ද, "අන්න බලන්න... බෙරපද නාදයට මේ කුඩා ඇත් පැටවා නර්තනයේ යෙදෙන අපූරුව'' යනාදි වශයෙන් කියනු අප අනන්ත අසා ඇත.
මේ අලි නැටිල්ල පිළිබඳව අප විසින් ගොතනු ලබන මිත්‍යාව හුදෙක්, ඒ අහිංසක සතුන් අපයෝජනය කරනු ලැබීම සාධාරණීයකරණය කරනු ලබන මුවාවෙන් කරනු ලබන ප්‍රකාශයන් ලෙස පමණක් සැලකිය යුතුය.
උමතු සම්පීඩක ආබාධ (Obsessive Compulsive disorder - OCD) හෙවත් සතුන්ට වැළඳෙන මානසික ව්‍යාකූලතාවක් ලෙස මෙම 'අලි නැටිල්ල' හඳුනාගැනේ. කිසිදු අරමුණක් රහිත ඒකාකෘතික චලනයන් (Stereotypical Movements) නිරන්තරයෙන් දැකිය හැක්කේ සිය ස්වභාවික පරිසරයෙන් වෙන් වී, වහල්භාවයේ යොදවා සිටින සතුන් වෙතිනි. සෙසු සතුන්ට වඩා සාපේක්ෂ වශයෙන් බුද්ධියක් සහිත අලි, ස්වභාවයෙන් ම හුරු වී සිටින්නේ නිශ්ශබ්ද, විවෘත සහ නිදහස් පරිසරයක් තුළ වාසය කිරීමට ය. ඉන් මිදී ඉතා කුඩා සීමාවක, එනම්, සත්වොද්‍යාන, නිවාස, පන්සල් හෝ සර්කස් පරිශ්‍රයන් හි වාසය කරන අලින් කෙරෙහි යට කී මානසික ව්‍යාධිය අනවරතයෙන් හටගනී. මෙම රෝගය Zoochosis යනුවෙන් හැඳින්වෙන අතර, නටනවා යැයි කියනු ලබන අලින් කෙරෙන් පිළිඹිබු වන්නේ එකී ලක්ෂණයන් ය. අලි කෙරෙන් පමණක් නොව සිය ස්වභාවික පරිසරයෙන් වෙන් කර අපයෝජනය කරනු ලබන ඕනෑම සතෙකු වෙතින් මෙම තත්වය දැකගත හැකි වනු ඇත. මෙය 'සිය වහල්භාවයට එරෙහි සානුකම්පිත ප්‍රතිරෝධයක්' මිස අනෙකක් නොවේ.
සෑම සත්වයෙකුට ම ජන්මගත ස්වභාවික ශාරීරික හා මානසික අවශ්‍යතා ඇත. ඒවා සපුරාගත නොහැකි විට විවිධ ඒකාකාරී, නොසන්සුන් චලනයන් සහ හැසිරීම් පළ කරයි. යමක් නිතර සැපීම, හොඬ හෝ පාද පැද්දීම ආදි ක්‍රියා අලි ඇතුන් වෙතින් පළ වන්නේ එවිට ය. ඔවුන් තුළ හටගන්නා මානසික ආතතිය, 'නැටුමක් සේ සලකා වින්දනය කිරීම' මනසින් උසස් අපගේ කාර්යය වී තිබීම කණගාටුවට කරුණකි.
පෙරහැර කාලයට කැමරාවක් දික්කරගෙන පොර මානසිකත්වයෙන් හැසිරෙන තුච්ඡ ෆේස්බුක් පේජ්කාර ප්‍රාණීන් ද, පෙරහැර දා ට පසුබිම් කථනයේ යෙදෙන තුන්ලෝකාග්‍ර වූ විස්තර විචාරක පඬියන් ද, කට ඇරගත් මිත්‍යා දෘෂ්ටික ශ්‍රද්ධාවන්තයන් ද මහත් ආශ්වාදයකින් යුතුව වින්දනය කරනු ලබන්නේ කාටත් කරදරයකින් තොරව වනාන්තරයේ සිටියදී අල්ලාගෙන විත්, දස වධ දී අපයෝජනයට ලක් කරන ලද අහිංසක දැවැන්තයන්ගේ මානසික පීඩාව බව අප වටහා ගන්නේ කවදා ද?
Nimesha Thiwankara
Nimesha Thiwankara II

Comments
Post a Comment