දළදා පෙරහැරේ ගෙන යන ලේකම් මිටිය
ඡායාරූපයක කතාවක්!
මේ ඡායාරූපය මෙතෙක් සමාජ මාධ්‍යයන් හි පළ වූවක් නොවේ. එය ඔබේ දැනුම සඳහා ය.
වර්තමාන දළදා පෙරහැරේ පෙරමුණේ රාළගේ අතෙහි ඇත්තේ හිස් පිත්තල බටයකි.
එහෙත් චිරාගත සම්ප්‍රදායානුකූල පෙරමුණේ රාල අත තිබිය යුත්තේ දළදා මාලිගාවේ නිලපංගු හා රාජකාරියට අදාල ලේකම් මිටිය ය. දැන් දළදා මාලිගාවේ ඉහළ සිට පහළ දක්වා කිසිවෙකුත් ලේකම් මිටියක් දැක ඇත් ද යන්න පවා සැක සහිත ය. දළදා පෙරහැර යනු සැණකෙලියක් හෝ මංගල්ලයක් (දළදා මාලිගාවෙන් ම කියන ආකාරයට) නොවේ. දළදා පෙරහැර යනු දළදා හාමුදුරුවන් වෙනුවෙන් රාජකාරිය කරන පංගුපේරුකාරයන් විසින් ඉටුකරනු ලැබූ උත්තරීතර පූජාවකි. මාලගම්මන, ඉහළවෙල, මොලගොඩ, හපුගොඩ, සිරිමල්වත්ත, වේගිරිය, මාමුඩාවෙල, තල්ගහගොඩ, යකාවෙල ආදී නා නා විධ ගබඩාගම්වාසී රාජකාරිකාරයන්, පංගුකාරයන් නොයෙක් දෙනා එකාවන් ව ඒකරාශී වී දළදා හාමුදුරුවන් උදෙසා සිය ගෞරව භක්තිය පුද කරන ලදී. මේ රාජකාරිකාරයන්ගේ වගතුග අන්තර්ගත වන්නේ දළදා මාලිගාවේ ලේකම් මිටියේ ය.
පෙරමුණේ රාළ වශයෙන් එකල පෙරහැරේ ගමන් කරන ලද්දේ මහවාසල මහමොහොට්ටාල ය. දළදා මාලිගාවේ ලේකම් පවත්වාගෙන යන ලද්දේ ඔහු විසිනි.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ දළදා මාලිගාවේ හැබෑ ම ලේකම් මිටිය දෝත දරා යන පෙරමුණේ රාළ කෙනෙකි. තෙමේ ධවල තුප්පොට්ටියකින් සැරසී සිටී. ලේකම් මිටිය ද සුදු රෙද්දකින් ඔතා තිබේ. මෙය 1970 ට පෙරාතුව ඇමෙරිකානු ජාතික Yvonne Hanemann විසින් ගන්නා ලද ඡායාරූපයකි. මීට පසුකාලීනව ලේකම් මිටියේ නාමයෙන් පිත්තල බම්බුවක් රැගෙන යන අන්දම දැක ගත හැකි විය.
මල්වතු සහ අස්ගිරි විහාරයන් හි රාජකාරිය අදාළ ලේකම් මිටි පෙරළා බලා ඇතත්, මාළිගාවේ ලේකම් මිටිය මෙතෙක් මා දැක නැත!
===
කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න!
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි
Nimesha Thiwankara
Nimesha Thiwankara II


Comments
Post a Comment