දළදා පෙරහැරේ අලි කුලප්පු පිළිබඳ ඉතිහාසය කෙටියෙන්!
දළදා පෙරහැරේ අලි කුලප්පු පිළිබඳ ඉතිහාසය කෙටියෙන්!
=====================================
මහනුවර රන්දෝලි පෙරහැරේ අලි කුලප්පු වීම් ගැන පළමු කතාව ආරම්භ වන්නේ 1959 දී ය. ඊට පෙර වකවානුවේ සිදු වූ එවැනි අලි කුලප්පු ගැන වාර්තා සපයාගැනීම දුෂ්කර ය. මහනුවර පෙරහැර යනු දළදා වහන්සේට කෙළින් ම සම්බන්ධ වන චාරිත්‍ර සමුදායක් වන බැවින්, එම පෙරහැරේ සිදු වන කවර හෝ බලපෑමක් සමස්ත රටට ම බලපාන්නේ යැයි පොදු ජන විශ්වාසයක් පවතී.
ඊට බලපෑ එක් ආශ්‍රේය සිදුවීමක් නම් හිටපු කතානායක ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා සිය කතානායක අසුනේ සිටියදී ම (1951) මරණයට පත්වීමට බලපෑවේ, ඔහුගේ අණින් 1950 දී සිදු වූ සුප්‍රකට පනාමුරේ හස්තියාගේ ඝාතනය නිසා ඇති වූ සාපය බවට මතවාදයක් සමාජගත වීම යි.
1959 අගෝස්තුවේ සිදු වූ සුප්‍රකට අලි කලබලය, මහනුවර පෙරහැරේ සිදු වූ ඓතිහාසික අලි කලබලය යි. පහළොස් දෙනෙකුට මරණය ද දහසකට පමණ තුවාල ද සිදු කරමින් කලබල කරන ලද්දේ එස්. බී. උඩුරාවණ කෝරාළගේ රාජා නමැති තිස් පස් හැවිරිදි අලියා ය. යටිනුවර වීදිය ඔස්සේ අන්තිම රන්දෝලි පෙරහැර ගමන් කරමින් සිටියදී යට කී අලියාගේ පයට ගිනිගත් කොප්පරා කැබැලි පෑගීමෙන් ඌ කලබලයට පත්විය. අවසානයේ දී කාසල් පටුමග අසළ දී උප පොලිස් පරීක්ෂක ටී. බී. කරුණාරත්න සහ සාජන්ට් බණ්ඩා විසින් අලියා මරා දමන ලද අතර, එම ස්ථානය එතැන් පටන් අලි මුඩුක්කුව වශයෙන් ප්‍රසිද්ධ විය. කෙසේ වෙතත් මිය ගිය 15 දෙනාගෙන් එක් අයෙකු හැර සෙසු අය අලියාගේ පහර දීමකට ලක් නොවී, තදබදය හේතුවෙන් මරණයට පත් වීම විශේෂ කරුණකි. මෙවක දියවඩන නිලමේ වශයෙන් කටයුතු කරන ලද්දේ සී. බී. නුගවෙල නිලමේ ය. එතුමා කරඬුව වඩම්මන ඇතාගේ දලින් තර ව අල්ලාගෙන සිටියේ බිය අමතක කරමිනි.
මෙම අලි කුලප්පුව ගැන ඇන්ටන් ජෝන්ස් ගයන මේ ගීතය ද අසන්න.
https://youtu.be/ZdZcT0TQQLw
නැවත 1976 පත්තිනි දේවාල රන්දෝලි පෙරහැරේ අලි කුලප්පුවක් සිදු විය. කුලප්පු වූ අලියාට පොලීසිය විසින් වෙඩි තබන ලදී. එය අත්වැරදීමකින් සිදු වූවක් බව පොලීසිය විසින් ප්‍රකාශ කරන ලද නමුත් වෙඩි කෑ අලියා පත්තිනි දේවාලයට නුදුරු වතුර මල අසලදී මරණයට පත් විය. එවක පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් කටයුතු කරන ලද්දේ එස්. එම්. නවරත්න දිසා ඇමතිවරයා ය.
ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ, එනම් 1992 දී සිදු වූ සිදුවීම එවක මාධ්‍යයෙන් වසන් කරන ලද්දකි. පෙරහැර කරඬුව රැගත් මංගල හස්තියා සිය ගමනාරම්භ කර මද වේලාවකට පසුව සිදු වූ විදුලි කාන්දුවකින් රන්සිවිගෙය ගිනි ගත්තේ ය. දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න ඇතුලු පිරිස වහා මැදිහත් ව විදුලිය විසන්ධි කර තත්වය කළමනාකරණ කරගනිමින් පෙරහැර පවත්වාගෙන යන ලදී.
ඩී. බී. විජේතුංග සමයේ, එනම් 1993 දී ද එවැනි ම සිදුවීමක් වාර්තා වේ. දෙවැනි කුඹල් පෙරහැර සඳහා පිටත් ව මද වේලාවක් ගිය තැන කරඬුව වඩමවන මගුල් ඇතා කුලප්පු විය. සමහරු කියන අන්දමට ඇතා පය පැකිළී බිම ඇද වැටුණේය .
එම වසරේ ම රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩමවන ලද්දේ මහ සමන් දේවාලයේ ඇතා ය. දිය අගල අසල දී එම මගුල් ඇතු කුලප්පු වී දෑලේ හස්තීන්ට පහර දුන් අතර, ඇතා නිර්වින්දනය කිරීමට යෝජනා විය. දෑලේ ගමන් ගත් තායි රාජා සහ විජයරාජා ඉවත් වූ අතර, දියවඩන නිලමේ නෙරංජන් ඉද්දි මහතා වහා ම, නිර්වින්දන එන්නත ඇතාගේ පස්සා ගාතයට විදින මෙන් නියම කළේය. ඉන් කලබල වූ ඇතා කරඬුව ද සමඟ මහමලුවට දිව ගියේ ය. ඇතා බිම වැටෙනවාත් සමඟ ම ජීවිතාසාව අතහැර ඇතා වෙත පිනූ දියවඩන නිලමේ රන්සිවිගේ බිම වැටෙන්නට නොදී අල්ලා ගත්තේය. මගුල් ඇතා බිම ඇද වැටුණේ ය.
මේ කිසිදු අවස්ථාවක දියවඩන නිලමේවරු බයබිරාන්ත ව පලා ගිය වගක් අපට අසන්නට නොලැබේ!
මහින්ද රාජපක්ෂ පාලන සමයේ, නැවත 2014 දී අලි කුලප්පුවක් වාර්තා වේ. කරඬුව වඩමවන ලද්දේ ඉන්දි රාජා ය. දෑලේ ගමන් කළේ වෑවලදෙණියේ රාජා සහ බුරුම රාජා ය. පැවලියන් වීදියේ දී බුරුම රාජා එල්ල කළ දල පහරින් ඉන්දි රාජා තුවාල ලැබූ අතර, අවසානයේ දෑලේ ඇතුන් රහිත ව කරඬුව ගෙවදින ලදී. කලබල වී පලා ගිය දියවඩන නිලමේ ගේ හිස් වැසුම පාරේ හැලිණි!
ඉනික්බිති 2019 රන්දෝලියේ ද, 2021 අවසන් රන්දෝලියේ ද අලි කලබල වාර්තා විය.
දළදා හාමුදුරුවන් කෙරෙහි අප තුළ ඇත්තේ මහා භක්ති ප්‍රේමයකි. පැටි වියෙහි දී ම දළදා හාමුදුරුවන් වෙත කැප කරනු ලැබූ අපට උන්වහන්සේ පිළිබඳ මහා ගෞරවාදරයක් තිබේ. එය සෙංකඩගලපුරබද කන්ද උඩ පස් රට වාසීන් වන අප සමඟ නිරන්තරයෙන්ම බැඳී පවතින්නකි. දළදා හාමුදුරුවන් වෙනුවෙන් කරනු ලබන සෑම පූජාවක ම සැඟවුණු විශේෂ අගයන් තිබේ.
දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය නොමඳව ලැබී, රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා වේවා!
කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න!
Nimesha Thiwankara
Nimesha Thiwankara II
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි.
කුලප්පු වූ රාජා ඇතාගේ සිතුවම Tharindu Amunugama වෙතිනි. එම සිතුවමේ දැක්වෙන්නේ කරඬුව දරා සිටින ඇතෙකුගේ ස්වරූපය යි. Ceylon Observer පිටුව Rajith Keerthi Tennakoon වෙතිනි.

Comments
Post a Comment