සිහගිරි පවත (1985)
සිහගිරි පවත (1985)
=================
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි
කුඩා වියෙහි දී අපගේ කියැවීමේ රුචිකත්වය වැඩවීමෙහිත්, ලිවීමට අභිප්‍රේරණය කිරීමෙහිත් ඉවහල් වූ පොත් දෙකකි. එකක් වි. ජ. මු. ලොකුබණ්ඩාරයන්ගේ 'සීගිරි ගී සිරි' නම් රසබර වාග්සිත්තම යි. දෙවැන්න මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ 'Sigiriya, the Lion Mountain' නම් කුඩා කෘතිය ඇසුරින් මහාචාර්ය මංගල ඉලංගසිංහයන් විසින් රචනා කරන ලද සිහගිරි පවත යි. මට මතක ඇති ආකාරයට මා මේ පොත මිලයට ගත්තේ 2002 දී පමණ ය. එවිට යාන්තම් 7 ශ්‍රේණියට සමත් වූවා පමණි. මිල රුපියල් 25 කි.
1980 මුල් ගණන්වල සීගිරිය පාදක කරගනිමින් ජාතික රූපවාහිනියෙන් නිෂ්පාදනය කරන ලද Sigiriya The Lion Mountain (සීගිරිය නම් වූ සිංහ ගිර) නම් වාර්තා චිත්‍රපටය සඳහා සේනක බණ්ඩාරනායකයන් විසින් රචනා කරන ලද පිටපතෙහි සිංහලානුවාදය වන්නේ මංගල ඉලංගසිංහයන් විසින් රචිත 'සිහගිරි පවත' යි.
මෙම පොත ඇත්තවශයෙන් ම ඉතා කුඩා එකකි; පිටු 36 කි. බණ්ඩාරනායකයන් වැනි මහා ප්‍රාඥයෙකු විසින්, සීගිරිය සම්බන්ධයෙන් තමා සතු මහා දැනුම සහ අවබෝධය මෙතරම් සංක්ෂිප්තව, රසවත් ව සහ අංග සම්පූර්ණ ව කැටි කරන ලද්දේ කිනම් ආශ්චර්යයකින් දැයි වටහා ගත නොහැක. ඊට ම, මංගල ඉලංගසිංහයන්ගේ රසාලිප්ත, මධුරමාධූර්‍යය වදන්වලින් ඊට අනගි මුතුහරක් ලැබී ඇත.
මෙහි අභ්‍යන්තරයේ මා සිත්ගත් කොටස් කිහිපයක් මෙසේ ය.
"ඉණෙහි වූ සිරිය ඇද සිය ගෙල සිඳගත් කස්සප රජු එය ඉහළට ඔසවා කොපුවෙහි ලා ගත්තේ ය. සීගිරියේ සිංහයා මළවුන් අතරට එක්විය!" (පි.22)
"මේ මළුපෙත්, ගර්භාගාර, ශාලා හා මණ්ඩප අතරින් අපට පෙනෙන්නේ ගඩොළුමය පෙතිකඩ හා ගල් පොකුණු රැසකින් වටවූ ශෛලමය සිංහාසනයයි. විශ්මයෙන් සිත් අලලන සීගිරිය නම් වූ මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රමයේ හදවතත් කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මහා මාළිගය මැයි." (පි.13)
"සීගිරියේ පවුරු පදනම් අද අපට පෙනෙන්නේ හුදු අලංකාරයේ හා චමත්කාරජනක භූමි නිර්මණයේ කොටාඅක් වශයෙන් වුවත් සෞන්දර්ය විෂය සීමාව ඉක්මවූ අර්ථයක් හා වැදගත්කමක් ඒවාට තිබුණි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආරක්ෂක පවුරු පදනම් වූ ඒවායින් සැලසුණු ආරක්ෂාව දෙයාකාර විය." (පි.16)
"එහෙත් දුරාතීතයේ සීගිරිය නැරඹීමට ආ විනෝදකාමීන්ට මෙන් ම අපටත් මේ චිත්‍ර පෙනෙන්නේ සුන්දර වනිතා පෙළකගේ ආහ්ලාදජනක සිතුවම් කීපයකට වැඩිදෙයක් ලෙස නොවේ." (පි.20)
"අතීතයේ ප්‍රෞඪත්වය හා සෞභාග්‍යය මෙන් ම එය එළිපෙහෙළි කිරීමේ දුෂ්කර වුවත් ප්‍රිය ජනක කාර්යය බලා කියා ගැනීමටත් නා නා දෙසින් සංචාරකයන් සීගිරිය කරා ඇදී එති." (පි.32)
---
'සිහගිරි පවත' වූ කලි ගද්‍ය කාව්‍යයන් වැන්න. මටසිළිටි බස් ව්‍යවහාර සහ ඒ අස්සේ සැඟවුණු බරසාර තොරතුරු සමුදාය, දුහුණු වියේ පමණක් නොව, අද සීගිරිය පිළිබඳ අල තුළ අමුතු චමත්කාරයක් ඇති කරවයි.
ඉදින් ප්‍රිය සගයෙනි, මේ අපූරු කුඩා පොත කියවා නොමැති නම් සොයාගෙන කියවන්න! එය මනරම් කාව්‍යයක් කියැවූවා වැනි ය!
Nimesha Thiwankara
Nimesha Thiwankara II
Nimesha Thiwankara Senevipala

Comments
Post a Comment