ලංකාව යනු ලෝකයට සහල් අපනයනය කළ ‘පෙරදිග මහා ධාන්‍යාගාරය’ ද?

 ලංකාව යනු ලෝකයට සහල් අපනයනය කළ ‘පෙරදිග මහා ධාන්‍යාගාරය’ ද? 

නිමේෂ තිවංකර සෙනෙවිපාල

------------------------------------------------ 



මහා පරාක්‍රමබාහු සමයෙහි ලංකාව ‘පෙරදිග ධාන්‍යාගාරය’ යන නමකින් හැඳින්වුණිද යන්න පිළිබඳව සාකච්චාවක් ඉපිද තිබේ. 


ඇත්ත වශයෙන් ම, එවැනි ආභිධානයකින් ලංකාව ව්‍යවහාර වූ බවට දෙස් දෙන කිසිදු මූලාශ්‍රයක් අපට හමුවන්නේ නැත. එහෙත් සාම්ප්‍රදායික වශයෙන් සමාජයේ මුල්බැසගත් ප්‍රවාදයක් ඒ ආකාරයෙන් පවතින බව නොරහසකි. මේ උභයභාවය උද්ගත වූයේ කිනම් ආකාරයකින් ද යන්න දැනගැනීමට බොහෝ දෙනා උනන්දු වනු ඇත. 


ඇත්ත වශයෙන් ම, ‘ලංකාව වනාහි පෙරදිග ධාන්‍යාගාරය ය’ යනුවෙන් මතයක් සමාජගත ව තිබෙන්නේ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයෙහි ඇති වූ සුවිශාල ආර්ථික හා සමාජයීය ප්‍රබෝදය හේතුවෙනි. ආර්ථික ශක්තියෙන් හීන වූ ජාතියක් වන අපට, ඒ අතීත අභිමානයෙහි පිහිටාධාරයෙන් හෝ ප්‍රීතිමත් වන්නට හැකි වීම සතුටක් වුවත්, ඇත්ත වශයෙන් ම අතීත ලංකා සමාජය ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත වූවාද යන්න වෙන ම කතා කළ යුතු මාතෘකාවක් වේ. 


ලංකාවේ ආහාර පිළිබඳ ස්වයංපෝෂිතභාවය පිළිබඳව අපට පළමු ගැටලුව උද්ගත වන්නේ දුට්ඨගාමිණී (රා. පූ. 161 - 137) රජු පියා වූ කාවන්තිස්ස රජු මාගම රජ කරන සමයෙහි ඇති වූ ‘බුලු කෑ සාය’ නම් දුර්භික්ෂයත් සමඟිනි. මෙම සාගතය රට මධ්‍යයේ ‘කොට්ට’ නම් ප්‍රදේශයක ඇති වූ බව ථූපවංසය කියයි. මේ වූ කලි වර්තමාන කොත්මලේ විය යුතුය. ළපටි බුලු ගෙඩි පවා කා දිවි රැකගන්නට සිදු වූ බැවින් එම සාගතය එම නමින් හැඳින්වුණි. 


දුට්ඨගාමිණිගෙන් පසුව වට්ටගාමිණී අභය රජුගේ (රාජ්‍ය පූර්ව 103) පළමු පාලන සමයේ ඇති වී, ඉන් මෑත වසර ගණනාවක් පැවති ‘බැමිණිතියා සාගතය’ නම් මහා දුර්භික්ෂ සමය වැදගත් වෙයි. ලංකා ඉතිහාසයේ ස්වර්ණමය අවදියකැ’යි ඇතැමෙකු විසින් හඳුන්වනු ලබන දුටුගැමුණු රජුගේ පාලන සමයෙන් දශක දෙකකට පසුව ඇති වන එම සාගතය සමස්ත ලංකාද්වීපය ම ගිල ගත්තේ ය. එපමණක් නොව, මේ වන විට දුටුගැමුණුගේ යුද්ධය සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය තිර කිරීමෙහි නියමුවා වශයෙන් පෙනී සිටි සද්ධාතිස්සගේ පාලන සමයෙන් පසුව ගත ව තිබුණේ වසර 16 ක කාලයක් පමණි. මහාවංශය ඇතුලු වංසකතාකරුවන් මහත් උද්‍යොගයෙන් දක්වන ආකාරයට සද්ධාතිස්ස විසින් දිගාමඩුල්ල ප්‍රදේශයේ මහා ආර්ථික පුනර්ජීවනයක් ඇති කරවන ලද්දේ වී නම් එවැනි සාගතයක් ඇතිවන්නට ඇති ඉඩකඩ ඉතා අඩු ය. මේ බලවත් සාගතයෙන් සිතුල්පවුවේ භික්ෂුන් දොලොස් දහසක් එක් ව පිරිනිවන් පෑ බව අටුවාවේ සඳහන් වෙයි. දුර්භික්ෂ බියට හේතුව රුහුණේ සිටි කැරලිකරුවෙක් යැයි කියමින්, මහාවංස කතුවරයා අත පිසදා ගන්නේ, ඔහු ම කී ආකාරයේ ආර්ථික සංවර්ධනයක් ඇති කළ සද්ධාතිස්ස ඉතිහාසයෙන් ගලවාගැනීමට ප්‍රයත්න දරමිනි. සම්මොහවිනොදනියට අනුව මෙම සාගතයෙන් භික්ෂුන් විසිහතරදහසක් මරණයට පත්වූහ. 


මේ ආකාරයෙන් ඇති වූ ව්‍යසනවලින් ලංකා ඉතිහාසයේ අඩුවක් නැත. කුඤ්චනාග පාලන සමයේ දී (රා. ව. 187 - 189) ‘ඒකනාලික’ නම් බලවත් සාගතයක් ලංකාව පුරා පැතිර ගියේ ය. එක් නැලියකින් පමණක් කුස පුරවා ගන්නට සිදු වූ බැවින් එම සාගතය එම නමින් හඳුන්වා තිබේ.


එවැනි ම බලවත් විපතක් නැවත ඇතිවූයේ සංඝබෝධි රාජ්‍ය සමයේ දී (රා. ව. 247 - 249) ය. එකල්හි රක්තාක්ෂ නම් බලවත් වසංගත රෝගයක් සමඟ ඇති වූ දුර්භික්ෂයෙන් රටවැසියා බලවත් පීඩාවට පත්වූයේ ය. නැවත, පළමුවැනි උපතිස්ස (රා. ව. 365 - 406) පාලන සමයේ එවැනි ම දුර්භික්ෂයක් හා වසංගත තත්වයක් ඇති විය. රජු විසින් නොයක් පුදපූජා පවත්වා, දුර්භික්ෂයෙන් රට නිදහස් කරගත්තේ ය. කීර්ති ශ්‍රී මේඝ (රා. ව. 551 - 569) සමයෙහි ද, දෙවැනි උදය (රා. ව. 887 - 898) පාලන සමයෙහි ද දුර්භික්ෂ ඇතිවුණේ ය. අනුරාධපුරයේ ක්‍රමික පරිහාණිය අවසානයේ උදා වූ පොළොන්නරු පාලන සමයේ මහාපරාක්‍රමබාහු (රා. ව. 1153 - 1186) රාජ්‍ය සමය වන තෙක් වන විට එවැනි බලවත් දුර්භික්ෂ ඇති වූ බවක් නොකියවේ. ඒ ආකාරයෙන් අනුරාධපුර වකවානුවේ නොයෙක් අවස්ථාවල බලවත් දුර්භික්ෂයන්ගෙන් ලංකාවාසීන් පීඩාවට පත් වූ බව සඳහන් වෙයි. 


අනුරාධපුර ජේතවනාරාම මලුවෙන් හමු වූ, පස්වැනි කාශ්‍යප (රා. ව. 914 - 923) රජුගේ ශිලාපුවරුවක් දැක්වෙන පරිදි සාගතය ඇති නොවන පිණිස ඔහු කටයුතු කර තිබේ. 


“පොදොනවුලු පුලුඩායෙන් කෙත්කම් සුලබ් කොට් සිරිලක් ළොන්දුර්වයි සා බිය නිවය්”

(අහස් දිය සහ වැව් දිය මගින් කෘෂිකාර්මික කටයුතු සුලබ කර, සිරිලකෙහි සාගත බිය නිවා සශ්‍රීක කළේය) 


ඉන් මතු, පස්වැනි මහින්ද (රා. ව. 972 - 982) විසින් පිහිටුවන ලද මාලිගාවිල පුවරු ලිපියක මෙසේ සඳහන් වෙයි.


“එ එ තන්හි සුන් වෑ බන්‍ද්වා පැවැත්වු දියෙන් හෙලදිවුහි දුබික් පල්වා”

(නොයෙක් ස්ථානයන් හි වැව් බඳවා ලංකාද්විපයේ දුර්භික්ෂය පළවා හැර)


මෙසේ වරින් වර ඇති වූ දුර්භික්ෂයන් පිළිබඳව වංශකතාකරුගේ සටහන් සීමා සහිත වේ. ඔහු සඳහන් කරන සෑම දුර්භික්ෂයක් ම එකල පාලකයාගේ පිං බලයෙන් මර්දනය කළ බව කීම ඔහුගේ අපේක්ෂාව වූ බැවින්, වරින් වර ඇති වූ බොහෝ දුර්භික්ෂයන් පිළිබඳ තොරතුරු මගහැරී ඇති බව වටහාගැනීම දුෂ්කර නොවේ. 


සාම්ප්‍රදායානුකූල ඉතිහාසයට අනුව විජය විසින් ඇති කරනු ලැබූ ගංගා ද්‍රෝණි ආශ්‍රිත ජනාවාස සම්ප්‍රදාය එතැන් පටන් රට පුරා ව්‍යාප්ත වීම ඉතා ශීඝ්‍රයෙන් සිදු වූ බව පෙනේ. එහි මූලික පදනම වූයේ ආර්ථික කාර්යය වශයෙන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සම්පාදනය කරගැනීමේ පහසුව ය. ප්‍රස්තුත මහාපරාක්‍රමබාහු පාලන සමය පමණ වන විට ඉතා සංකීර්ණ ලෙස ලංකාව පුරා ජනපදකරණයක් සිදු ව පැවති අතර, මහාපරාක්‍රමබාහු දක්ඛිණ දේශයේ පාලකයා වශයෙන් ඇති කළ ආර්ථික සමෘද්ධිය ම ඊට උදාහරණයකි. ආර්ථික හා දේශපාලන තත්වයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් රජරට සිට නොයෙක් දෙනා රෝහණය සහ දක්ඛිණ දේශය දෙසට සංක්‍රමණය වූ අතර, කලුතර පස්යොදුන් රට පවා පරිපාලන ප්‍රදේශයක් වශයෙන් ස්ථාපනය වූයේ මෙකල ය. පරාක්‍රමබාහු විසින් පස්යොදුන් කෝරළයේ වගුරු ගොඩකර ගොවිබිම් පිහිටුවන ලදී. දසවන සියවස පමණ වන විට කලු ගඟ සහ නිල්වලා ගඟ දෙපස ද ජනාවාස ආරම්භ වී තිබුණි. නුවරඑළියේ හරස්බැද්ද ප්‍රදේශය වැනි දුෂ්කර හා දුර්ගම ස්ථාන පවා මේ වන විට ජනාවාස ව පැවතුණි. නිශ්ශංකමල්ලගේ පාලන සමය වන විට මස්කෙළිය, අඹගමුව වැනි කඳුකර ප්‍රදේශ ද ජනාවාස ව පැවතුණි. කිරිඳි, වලවේ, මැණික්, කුඹුක්කන්, මහවැලි, මැණික් වැනි ගංගා නිම්නයන් හි ස්ථාපිත ව පැවති ජනාවාස ද අතිශය ජනාකීර්ණ වූවාට සැක නැත. මෙසේ බලන විට වර්තමානයේ ජනාවාස ව පවතින සෑම ප්‍රදේශයක් ම පාහේ මහා පරාක්‍රමබාහුගේ පාලන සමය වන විට ද එලෙසින් ම ජනාවාස ව පැවති බව සැකයකින් තොරව ඔප්පු වෙයි. 


අරමණය සහ පාණ්ඩ්‍ය-චෝල ආක්‍රමණය වැනි තෘතියික මට්ටමේ දේශපාලන මැදිහත්වීම් සඳහා යොමුවන්නට තරම් පරාක්‍රමබාහුගේ රාජ්‍යය ශක්තිමත් වූවාට සැක නැත. එමෙන්ම අති විශාල වාරිකර්මාන්ත සහ විහාර කර්මාන්ත රැසකට මුලපුරන්නට ද ඔහුට හැකි වන්නේ ඒ ආර්ථික සමෘද්ධිය නිසා ම ය. පොළොන්නරුව ශක්තිමත් නගරයක් බවට පත් කිරීමට ද ඔහුට හැකි විය. ඒ හා සමගාමීව වෙළඳාම පදනම් කරගත් ආර්ථිකය ද ශක්තිමත් කරගන්නා ලදී. 


නැවත මාතෘකාව දෙසට හැරෙමු. 


පරාක්‍රමබාහු සමයේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් වූයේ ‘අහසින් වැටෙන එක් දිය බිඳුවක් හෝ මුහුදට නොයා යුතුය’ යන තිරසර ප්‍රතිපත්තිය මත ය. එහෙත් ඇත්ත වශයෙන් ම පරාක්‍රමබාහු විසින් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ ඔහු දක්ඛිණ දේශයේ පාලකයා වශයෙන් සිටි වකවානුවේ දී ය. 


‘හැමට පළමුකොට බෙහෙවින් ධාන්‍ය රැස් කිරීම කටයුත්තේ යි. බෙහෙවින් මා රජයෙහි අහස් දියෙන් නිපදන නොයෙක් ගොයම් බිම් හැර නුසුන් දිය මුත් නදින් හා එසේම මහවැව් නියා පැවති කෙත් ස්වල්ප ය. බොහෝ වූ පර්වතයෙන් ද, ඝන වනයෙන් ද, මහ මඩින් ද රාජ්‍යය ඇති සෙයින් සම්බාධිතයි. මෙබඳු දේශයෙහි වැස්සෙන් හටගත් ජලය මදකුදු ලොකොපකාරයෙන් වෙන් ව කිසි කලෙකත් මුහුදට නොයේවා. මැණික් රන් ආදි වස්තුන් හටගන්නා බිම් හැර සෙස් තන්හි කෙත් මොනවට පැවැත්ම කටයුතුය. ලෝ වැඩ නොකොට සිය අතට පැමිණියක් අනුභව කොට විසීම මා වැන්නන්ට සර්වප්‍රකාරයෙන් ම යුතු නොවේ.” (මහාවංස, 69 පරිච්ඡෙදය) 


මේ ධර්මතාවෙහි පිහිටා දක්ඛිණ දේශය සශ්‍රීක කිරීමෙන් පමණක් නොනැවතී, ඉන් මතු ලංකා රාජ්‍යය අත්පත් කරගැනීමෙන් අනතුරුව ද එවැනි ම ආර්ථික දැක්මකින් යුතුව කටයුතු කරන්නට මහා පරාක්‍රමබාහු සමත් වූ බව අමුතුවෙන් කිව යුතු නැත. 


12 වැනි ශතවර්ෂයේ රචනා වූ බුත්සරණෙහි එන පාඨයක් ඇසුරින් ලක්දිව පොහොර භාවිතය පිළිබඳව පළමුවරට අනාවරණය වෙයි. 


“ගොයම් බෝග වනු පිණිස කුඹුරෙහි පුවර ලන ගොවිතැන දක්ෂ එකක්හු සේ”


පරාක්‍රමබාහු රාජ්‍ය සමය වන විට රජරට ශිෂ්ටාචාරයෙන් උපත ලැබූ මහවැව්, කුඩාවැව්, වැව්, ඇලමාර්ග ආදි නොයෙක් වාරි කර්මාන්තයන් හි පුළුල් ව්‍යාප්තිය සහ ජනපද විසරණය වී පැවති අන්දම පිළිබඳව නිරීක්ෂණය කරන විට එම යුගයේ කෘෂි සමෘද්ධිය පිළිබඳව චිත්‍රයක් මවාගැනීම අපහසු නැත. ආර්ථික ක්‍රියාවලියට දායක නොවූ බෞද්ධ භික්ෂුන් දහස් ගණනකට අවශ්‍ය ආහාර සම්පාදනය ම සුළුපටු කරුණක් නොවූ බවට සැක නැත. එහෙත්, අදට ද දෘෂ්‍යමාන වන නටබුන් අනුව බලන කල එය සමකාලීන ආර්ථිකයට එතරම් බරක් වූ බවක් සිතන්නට නොහැක.  


ඒ කෙසේ වෙතත්, පරාක්‍රමබාහු රාජ්‍ය සමය තුළ පැවති අති පුළුල් ක්‍රියාකාරීත්වය දෙස බලන විට කෘෂි ආර්ථිකය මහත් බලවත් ව පැවති බව පැහැදිලි ය. මේ හා සමගාමීව දේශීය හා විදේශීය වෙළඳාම ද බෙහෙවින් දියුණු තත්වයක පැවතියේ ය.  


රාජ්‍ය පූර්ව දෙවැනි සියවසට අයත් පටිටිනපාලෛ නම් ද්‍රවිඩ සාහිත්‍ය කෘතියේ සඳහන් වන ආකාරයට, ලංකාවෙන් ඉන්දියාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනගොස් ඇතැයි මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සඳහන් කරයි. මෙහි ලංකාව හඳුන්වා දී ඇත්තේ ‘ඉල්ලත්තුනාවු’ වශයෙනි. එසේ වුවත් එසේ ගෙන යන ලද ආහාර මොනවාදැ’යි එහි සඳහන් වන්නේ නැත. 


එහෙත්, ඉන් පසුව කිසිම අවස්ථාවක අප සහල් විදේශයකට අපනයනය කළ බවක් සඳහන් වන්නේ නැත. එබැවින් ‘ධාන්‍යාගාරය’ යන යෙදුමක් හෝ ලංකාව වෙනුවෙන් භාවිත වූ බවක් සඳහන් වන්නේ නැත. 


තෝනිගල ගිරිලිපියෙහි සඳහන් ‘ධාන්‍ය බැංකුව’ හෙවත් ‘කලහුමනක’ නම් ‘වෙළඳ සභාව’ මගින් ක්‍රියාත්මක කරන ලදැයි සඳහන් ධාන්‍ය පොලී ක්‍රමය සම්බන්ධයෙන් සලකා බැලීමේ දී පෙනී යන්නේ, නිරන්තරයෙන් ඇතිවන ආහාර හිඟයකට හෝ දුර්භික්ෂයන්ට හෝ මුහුණදීම සඳහා පැවති වැඩපිළිවෙලක සේයාවන් ය. සහස්සවත්ථුපකරණයේ සඳහන් ‘තිවස්සික ගන්ධසාලි’ නම් තුන්වසරක් සුවඳ කරන සහල් වනාහි කිසියම් ද්‍රව්‍යයක් සමඟ මුහු කර කල්තබාගැනීමේ ක්‍රමවේදයකට ලක් කළ සහල් වර්ගයක් බව ඉන්ද්‍රකීර්ති සිරිවීර සඳහන් කරයි. සිතුල්පව්ව වැනි තැන්වල වසර තුනක් සඳහා ප්‍රමාණවත් තරම් ධාන්‍යාගාර පැවති බව අට්ඨකතාවෙහි විස්තර කෙරේ. 


9 වැනි ශතවර්ෂයේ විසූ අරාබි සංචාරකයෙකු වූ ඉබ්න් බුර්දාද්බේ සඳහන් කරන ආකාරයට ඉන්දියාවේ බාබත්තන් හි සිට ලංකාවට සහල් ගෙන ගොස් ඇත. එමෙන්ම, වැදගත් ම කරුණක් නම් පොළොන්නරුව රාජධානියක් ව පැවති සමයේ ම, එනම් 11 වැනි ශතවර්ෂයේ ම, ඉන්දියාවේ ජිර්බටම් නම් වරායකින් ලංකාවට සහල් යවන ලද බවට අරාබි ජාතිකයෙකු වන මුහම්මද් අල් ඉද්‍රිසි (Muhammad al-Idrisi 1100 - 1165) විසින් තබා ඇති සටහන යි. ඔහු ඉන්දියාවට පැමිණෙන්නේ 1154ට පෙර සමයක දී ය. ඒ අනුව දෙවැනි ගජබාහු (1132 - 1153) සහ පරාක්‍රමබාහු (1153 - 1186) රාජ්‍ය සමයන් දෙක ම අදාළ කරගත හැකිය. ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නට සිදුවූවා ය යන කතාවෙන් පැහැදිලි වන්නේ ජනගහනයේ අවශ්‍යතාවට සරිලන තරම් ආහාර නිෂ්පාදනයක් ලංකාවේ නොපැවති බව ය. දෙවැනි ගජබාහු සමයේ පැවති දුර්වල පරිපාලනය ඊට හේතු වූවා වන්නට ද පිළිවන. එමෙන්ම, දැඩි අවශ්‍යතාවයකින් යුක්තව කෘෂිකර්මාන්තය සශ්‍රීක කිරීමට දක්ඛිණ දේශයේ පාලකයා වශයෙන් පරාක්‍රමබාහු කටයුතු කරන්නේ ද ඒ ආර්ථික පීඩනයෙන් සිය පාලන ප්‍රදේශය ගලවාගැනීම සඳහා විය යුතුය. එමෙන්ම පොළොන්නරුවේ පාලනයට සියතට ගැනීමෙන් පසුව ද එකී කෘෂිකාර්මික සංවර්ධනය එලෙසින් ම පවත්වාගෙන යාමට පරාක්‍රමබාහු කටයුතු යෙදීය. එබැවින් අපට වටහාගත හැක්කේ, පරාක්‍රමබාහුගේ කෘෂිකාර්මික වැඩපිළිවෙලෙහි අපේක්ෂාව වූයේ ‘අපනයනය’ නොව, ‘ස්වයංපෝෂිතභාවය’ වන බව යි. 


ඉන් මෑත 16 වැනි ශතවර්ෂය වන විට ඉන්දියාවේ කොරමැන්ඩල් සිට ලංකාවට සහල් එවන ලද බව, ඩුරටේ බාර්බොසා (Durate Barbosa) සහ ලුඩොවික් වර්තමා (Ludovico de Virthema) වැනි පෘතුගිසි ලේඛකයන් ද සඳහන් කර ඇත. පොළොන්නරු යුගයෙන් පසුව රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වීම හේතුවෙන් නැවත ස්වයංපෝෂිත ආර්ථික තත්වයක් ඇති නොවූ බව ප්‍රසිද්ධ කරුණකි. 


කෙසේ වෙතත්, සියලු සාධක අනුව පෙනී යන්නේ, ලංකාව නිරන්තරයෙන් ම උත්සාහ කරන ලද්දේ ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයක් පවත්වාගැනීමට වන බවත්, අතිරික්තය ගබඩා කරගනිමින්, දුර්භික්ෂය සඳහා කළමනාකරණය කරගත් බවත් ය. විශේෂයෙන් ම රාජධානිය ස්ථාපිත ව පැවතියේ වියලි කලාපය තුළ වීම නිසා නිරන්තරයෙන් ම දුෂ්කර කාලයන් එළඹුණු බවට සැක නැත. එබැවින් අතිරික්ත සහල් අපනයනය කිරීම වැනි මුග්ධ ක්‍රියාවකට හෝ සහල් විකුණා මුදල් ඉපැයීමට හෝ අවශ්‍යතාවක් පැරණි පාලකයන්ට පැවති බවක් නොපෙනේ. එහෙත්, යම් හෙයකින් තත්වය කලමනාකරණය කරගත නොහැකි වූ අවස්ථාවන් හි ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නට ඇති බව 9 සහ 11 වැනි සියවස් හි අරාබි ලේඛකයන්ගේ වාර්තා ඇසුරින් පැහැදිලි වෙයි. 


එසේ නම්, ආසියාවට ම සහල් දුන් ‘ධාන්‍යාගාරය’ වශයෙන් ලංකාව හැඳින්වුණේ ඇයි දැයි අපගේ ගැටලුව යළි මුලට ම සම්බන්ධ වෙයි.


බි්‍රතාන්‍ය පාලන සමයේ මුල් සහ මැදි වකවානු තුළ ද්විත්ව ආර්ථිකයට මුල්තැන දෙමින් බලහත්කාරයෙන් අතහැර දමනු ලැබූ දේශීය කෘෂිකර්මාන්තය සඳහා නැවත යොමුවන්නේ 1929 දී පමණ ය. 1929 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා වාර්තාව මගින් පෙන්වා දෙන ලද පරිදි ගොවි ජනපද වර්ධනය කරමින් නැවතත් වී වගාවට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් විය. 1933 දී ඉඩම් පනත සම්මත කරගනිමින් ඩී. එස්. සේනානායක ලංකාවේ කෘෂිකර්මය නැවත අවදි කිරීමේ මුල් පියවර තබන්නේ එය ම සිය අනාගත දේශපාලන ගමනේ ආශිර්වාදය බවට ද පත් කරගනිමිනි. 1934 පළමු ගොවි ජනපද ව්‍යාපාරය ඔහු ආරම්භ කරන්නේ මින්නේරිය පදනම් කරගනිමිනි. පොළොන්නරුවේ සිට වවුනියාව දක්වා මෙම ව්‍යාප්ත වුණේ ය. 1931 සිට 1946 දක්වා කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් ඔහු නගා ගත් ‘ගොවි හිතැති පෞරුෂය’ අතිමහත් විය. 


සේනානායකගේ ගොවි ජනපද ව්‍යාපාරය තුළ ඔහුගේ දේශපාලන ප්‍රවේශය සනිටුහන් වූයේ ‘පැරකුම් සෙවණැල්ල’ ලෙස ය. අන් ලෙසකින් කිවහොත් ඔහුගේ දේශපාලන ප්‍රවේශය වූයේ ‘පරාක්‍රමබාහු ස්වරූපය’ යි. ඒ වෙනුවෙන් ‘පැරකුම් යුගය’ සහ ‘පෙරදිග ධාන්‍යාගාර’ යනුවෙන් අත්පොත් ද මුද්‍රණය කර බෙදාහරින ලදී. පාසැල් පෙළපොත්වලට ද එය ඇතුළත් වූ අතර මෙම දේශපාලන ව්‍යාපාරය තුළ ඇති කරන ලද එක් තේමාවක් වූයේ ‘පැරකුම් යුගයේ දී මෙන් මෙකල ද පෙරදිග ධාන්‍යාගාරය’ බවට ලංකාව පත්කරන්නට ඩී. එස්. සේනානායක කටයුතු කරන බව යි. එමෙන්ම, මහා පරාක්‍රමබාහු යුගයෙන් පසුව ලංකාවේ (විශේෂයෙන් ම වියලි කලාපයේ) සිදු වූ දැවැන්ත ම කෘෂිකාර්මික පුනරුදය සිදුකරන ලද්දේ ඩී. එස්. සේනානායක විසින් බව ප්‍රචාරය කර හැරිණි. 


මේ අනුව පැහැදිලි කර දිය හැක්කේ, ‘ලංකාව පෙරදිග ධාන්‍යාගාරය’ වූයේ ය, සහ ‘පරාක්‍රමබාහුගේ කාලයේ සහල් අපනයනය කළේය’ යන ප්‍රවාද (ගොඩනැගුණේ?) ජනප්‍රිය වූයේ 1933 - 1950 අතර හිටපු කෘෂිකර්ම අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දේශපාලන ව්‍යාපාරය හා සමගාමීව වන බව ය. 


Nimesha Thiwankara 

Nimesha Thiwankara II 

Nimesha Thiwankara Senevipala

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books