ගම්පොළ යුගයේ පර්වත විහාර සංකල්පය

 ගම්පොළ යුගයේ පර්වත විහාර සංකල්පය





ලංකාවේ සයවැනි රාජධානිය වූ ගඟසිරිපුර රාජධානිය වූ කලි විවිධ ක්‌ෂේත්‍රයන්ගෙන් සුවිශේෂී වූ වෙනස්‌කම් රැසකට මුල පිරූ වකවානුවක්‌ විය. සිතුවම් කලාව- ප්‍රතිමා කලාව - වාස්‌තු විද්‍යාව ඇතුළුව සියලු අංශයන්ගෙන් මෙකල සිදුවූ පරිවර්තනයන් අතිශයින්ම සුවිශේෂී වේ. ගම්පොළ යුගය පැවති කාලවකවානුව වනුයේ ක්‍රි.ව. 1341 - 1415 (සෙනෙවිපාල ( 25 පිට) අතර කාලයයි. මෙම වකවානුව තුළ සමස්‌ත ලංකාද්විපයේ ම නුවූවත් වැඩි කොටසක බල ව්‍යාප්තියක්‌ සිදුකර ගැනීමට ගම්පොළ රජුන්ට හැකිවිය. මෙම යුගයේ සිදුවූ සුවිශේෂී පරිවර්තනයන් බොහොමයක්‌ කෙරෙහි මුඛ්‍ය සාධකය වශයෙන් බලපා තිබෙන්නේ එකල පැවති හින්දු සංස්‌කෘතික බලපෑමයි. විශේෂයෙන්ම දකුණු ඉන්දියානුවන් පිරිසක්‌ වූ ආර්ය චක්‍රවර්තීවරුන් ලංකාවේ උතුරුදිග යාපනය ප්‍රධාන කොටගත් වෙනම පාලන ඒකකයක්‌ පවත්වාගෙන යැම මේ තත්ත්වය කෙරෙහි යම් බලපෑමක්‌ සිදුකර නැතැයි කිව නොහැකිය. එමෙන්ම ගම්පොළ රජුන් ප්‍රධාන වශයෙන් භාරතය සමඟ සංස්‌කෘතික හා කලා සම්බන්ධතා පවත්වාගෙන තිබේ. ගම්පොළ යුගයේ ඉදිවූ සුවිශේෂී ම විහාරයක්‌ සේ ගැනෙන සිව්වැනි බුවනෙකබාහු රජතුමා විසින් කරවූ ගඩලාදෙණිය විහාරයේ පිහිටා ඇති ශිලා ලිපියකට අනුව එම විහාර කර්මාන්තය සඳහා ගෙන්වාගෙන තිබෙන්නේ දකුණු ඉන්දීය වාස්‌තු නිර්මාණ ශිල්පියෙකු වූ "වස්‌තු ශාස්‌ත්‍රී ප්‍රතිමා ශාස්‌ත්‍රී ගණාධිපති ගණේශ්වරාචාර්ය" නමැත්තා බව හෙළි වෙයි. මෙම නිර්මාණ ශිල්පියා ඉන්දීය නිර්මාණ ශිල්පියෙකු වීම කරණ කොටගෙන ඔහු විසින් නිර්මාණය කරන ලද ගඩලාදෙණිය විහාරයද හින්දු දේවාලයක ආකෘතියකට වඩාත් සමීප වී තිබේ. කෙසේ වෙතත් මේ යුගයේ නිර්මාණය වූ ගඩලාදෙණිය හා ඊටම යාබද ලංකාතිලක විහාරය යනු මෙතෙක්‌ කල් ලංකාවේ පැවති විහාර නිර්මාණකරණය සමඟ සබැඳි ශෛලිය වෙනස්‌ මඟකට යොමුකරන ලද අවස්‌ථා දෙකක්‌ බව පැහැදිලිය. මෙම ලිපිය යටතේ අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ගම්පොළ යුගයේ විහාර නිර්මාණය සම්බන්ධයෙන් උපයෝගී කරගන්නා ලද පර්වත විහාර සංකල්පය පිළිබඳ විමසුමක්‌ සිදු කිරීමටයි.

පර්වත විහාර නොහොත් පබ්බත විහාර පිළිබඳ මූලික සංකල්පය බිහිවී තිබෙන්නේ අනුරාධපුර යුගයේදීය. නමුත් එම අවධියේ පර්වත විහාර යටතේ නිර්මාණය වී තිබෙන්නේ පර්වතයක්‌ පාදක කරගත් විහාර සංකීර්ණයකි. රිටිගල, සිතුල්පව්ව, මිහින්තලය වැනි තැන්වල ඇත්තේ ද පර්වතයක්‌ පදනම් කරගත් විහාර නිර්මාණයන්ය. නමුත් ඒවාට වඩා සපුරාම වෙනස්‌ වූ ශෛලියකින් යුක්‌ත පර්වත විහාර සංකල්පයක්‌ ගම්පොල යුගයේ සිට ආරම්භ වී තිබේ. මෙම ප්‍රස්‌තුතය යටතේ කතිකා කිරීම සඳහා අප යා යුතු ප්‍රධාන ස්‌ථාන දෙකක්‌ පවතී. ඉන් පළමුවැන්න නම් ක්‍රි.ව. 1344 දී සිව්වැනි බුවනෙකබාහු රජතුමාගේ උපදෙස්‌ අනුව යමින් සේනාධිලංකාර සෙනෙවිරත්තැන විසින් කරවන්නට යෙදුනු උඩුනුවර ප්‍රදේශයේ ශ්‍රී ලංකාතිලක විහාරයයි. දෙවැන්න නම් එම කාල වකවානුවේදී ම ක්‍රි.ව. 1337 දී පමණ පළමුවැනි ධර්මකීර්ති සංඝරාජයාණන් වහන්සේගේ උපදෙස්‌ මත සේනාලංකාධිකාරයන් විසින් කරවන ලද ගඩලාදෙණිය විහාරයයි. මේ ස්‌ථාන යුගලය ම පිහිටා තිබෙන්නේ එකිනෙකට යාබදව පිහිටි පර්වත යුගලයක්‌ මත්තෙහිය. ඒ අනුව මෙම ස්‌ථානයන්ද පර්වත විහාර සංකල්පය යටතේ ම නිර්මාණය වූ ඒවා බව ප්‍රකට වෙයි.

ලංකාතිලක විහාරය පිහිටා තිබෙන්නේ උඩුනුවර ප්‍රදේශයේ පිහිටි උස්‌ පර්වතයක්‌ වන "පැන්හල්ගල" නොහොත් "පණ්‌ණශෛල" මස්‌තකයෙහිය. මෙම ස්‌ථානය "සිඳුරුවාන" නමින් ද හැඳින්වෙයි. ලංකාතිලක විහාරය වූ කලි පර්වත විහාර සංකල්පය යටතේ ම නිර්මාණය වූවකි. ලංකාතිලක විහාර ශිලා ලේඛනයේ එම විහාර කර්මාන්තය පිළිබඳව තොරතුරු හෙළි වෙයි. ඒ අනුව මෙම විහාරයේ නිර්මාණකරුවා වන්නේ "ස්‌ථපතිරායර" නමැති දක්‌ෂිණ භාරතීය ශිල්පියෙකි. (සෙනෙවිරත්න ( 136 පිට) මෙම විහාරය අතිශයින්ම විචිත්‍රවත් වූ බිත්තිවලින් සුසැදියේය. පර්වතය මත සිව්මහල් ලෙසින් මුලින් ගොඩනැංවූ බවද එම ශිලා ලිපියේ සඳහන් වෙයි. ගඩලාදෙණි විහාරයද එසේමය. දක්‍ෂිණ භාරතීය වාස්‌තු නිර්මාණ ක්‍රමයකට අනුව ගොඩනංවා තිබෙන ගඩලාදෙණිය විහාරය ද තරමක්‌ උස්‌ වූ පර්වතයක්‌ මත නිර්මාණය වී ඇත. එමෙන්ම ගඩලාදෙණිය වූ කලි ගෙඩි ගේ සම්ප්‍රදායේ විහාර කර්මාන්තයක්‌ ද වේ.

යථොක්‌ත ගඩලාදෙණිය සහ ලංකාතිලක යන උභය විහාරයන්ම පිහිටා තිබෙන්නේ උස්‌ වූ පර්වතයන් මත පිහිටන පරිද්දෙනි. එය මේ විහාර යුගලය සම්බන්ධයෙන් පොදු කාරණයකි. එමෙන්ම මෙම විහාරයන් දෙකෙහිම වාස්‌තු නිර්මාණාත්මක සමානාත්මතාවයන්ද පෙනී යයි. මූලික ආකෘතියේ වෙනස්‌කම් ඇතත් විහාර ගෘහ යුගලයෙහිම පිටත බිත්ති නිර්මාණය කර තිබෙන්නේ යම් සමාන ආකාරයකිනි. ව්‍යාජ ද්වාර සහ ව්‍යාජ ස්‌ථම්භ යොදා ගනිමින් ඒවායේ පිටත පෙනුම විමානයක ස්‌වරූපයකට පත්කර ඇති ආකාරය එවන් පොදු වාස්‌තු ලක්‌ෂණයකි. එමෙන්ම ඒවායේ ව්‍යාජ මකර තොරණ නිර්මාණය කර ඇත්තේ ද සමාන ආකාරයෙනි.

"සතිස්‌ලක්‌ෂ දසදහස්‌ තුන්සියපනස්‌ යොදුන් චක්‍රාවාටපර්වතයෙහි බාහිර පාර්ශ්වය දක්‌වා විචිත්‍රාකාරයෙන් සැදි සිටගත්තා වූ කණක රජත මාණික්‍යමය විමන් මාලාවෙන් හා උයන් පොකුණු ගලතල කල්පවෘක්‍ෂ පදනමින් හෙබියා වූ දහසක්‌ රුවන් දොරටුවෙන් සැදුම් ලද විජයොත්මහපාය ඇතුළු අනෙකප්‍රකාර...." (සද්ධර්මාලංකාරය ( 8 පිට)

සද්ධර්මාලංකාරයේ එන උක්‌ත පාඨය යොදා තිබෙන්නේ ධර්ම සංග්‍රහ වර්ගයේ දී සක්‍රයාගේ විමානය පිළිබඳ දැක්‌වීමටය. එකී පාඨයේ එන දිව්‍ය විමානමය ස්‌වරූපය ලංකාතිලක හා ගඩලාදෙණි විහාර කර්මාන්තයන් දෙකෙහිම දැක ගැනීමට පිළිවන. විහාර යුගලයම පිහිටා තිබෙන උස්‌වූ සෙල් පවත් යුවල වූ කලි සද්ධර්මාලංකාරයෙහි කියෑවෙන "චක්‍රාවාට පර්වතය" නොහොත් "සක්‌වලගල" සංකේතවත් කරන්නකි. ගඩලාදෙණි විහාර ශිලා ලිපියක එන පරිදි එම විහාරය නිර්මාණය කිරීමෙන් ඉක්‌බිතිව විවිධ දේව ප්‍රතිමා නිර්මාණය කරන ලද බවත් කියවේ.

"පල්ලේ මාලේ ශක්‍ර බ්‍රහ්ම සුයාම සත්තුසිත නාථ මෛත්‍රී ආදි දෙවියන් විසින් පිරිවරන ලද වජ්‍රාසනාරූඪව බෝධින් වහන්සේලා පිට ලා වැඩහුන් සධාතුක මහා පිළිම සාමීන්ද..." (ගඩලාදෙණිය ශිලා ලිපිය ( 01).

එකී දේව ප්‍රතිමාවලින් නිරූපණය වන්නේ බුදු පිළිමයට නමස්‌කාර කරන ස්‌වරූපයක්‌ පළ කිරීමය. මේ පිළිම තවමත් එහි ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවට ඉහළින් මකර තොරණ දෙපසින් දැක ගැනීමට පිළිවන. මෙසේ දේව ප්‍රතිමා සහිතව බුද්ධ ප්‍රතිමාව නිරූපණය කිරීමේ අධ්‍යාශය විය හැක්‌කේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය විමානයක වැඩමකළ අවස්‌ථාවක්‌ නිරූපණය කිරීම වන්නට අවකාශ තිබේ. ඒ අනුව විහාරගෙයට පිවිසෙන බැතිමතාට පවා දිව්‍ය විමානයකට පිවිසෙන ආකාරයේ චෛතසිකයක්‌ රෝපණය කිරීමද නිරුත්සාහයෙන් සිදු වෙයි. පිළිමගෙයෙහි පිටත බිත්තියේ ඇති ව්‍යාජ ද්වාර මගින් යථොක්‌ත සද්ධර්මාලංකාරයේ එන "දහසක්‌ රුවන් දොරටු" සංකේතවත් වෙයි. එමෙන්ම ව්‍යාජ මකර තොරණ ආධාරයෙන් විචිත්‍රාකාරයෙන් සිටගත්තා වූ කණක රජත මාණික්‍යමය විමල් මාලාව" සංකේතවත් වෙයි. දිව්‍යමය වූ හස්‌තීන් පවා මේ විහාර ද්වයේම පිටත බිත්තිවල නිර්මාණය කිරීම ඔස්‌සේ ද ඒ බව තවදුරටත් සනාථ වෙයි. එමෙන්ම ගඩලාදෙණිය විහාර පරිශ්‍රයේ ඇති කුළුදාගෙය ද හඳුන්වා තිබෙන්නේ "විජයොත්පාය චෛත්‍යය" නමිනි. එනම් විජයොත්පායට අයත් චෛත්‍යය යන්නයි. විජයොත්පාය වූ කලී ශක්‍රයාගේ විමානයයි. මේ අනුවද පෙනී යන්නේ ගඩලාදෙණිය විහාරය නිර්මාණය කර තිබෙන්නේ සක්‍ර දෙවියාගේ විමානය සංකේතවත් කරමින් වන බවයි. ගඩොලාදෙණිය සෙල් අතළ මත ස්‌වභාවික පිහිටීම ආධාර කොටගෙන නිර්මාණය කර ඇති පොකුණු ආදිය පවා මේ දිව්‍ය සංකල්පයට ම ගැලපී යයි.

ගඩලාදෙණියේ නිර්මාණයටම සමාන ලක්‌ෂණ පෙන්නුම් කරන ලංකාතිලකයේ ද නිර්මාණකරණයේ අධ්‍යාශය වන්නේ එකී දිව්‍ය විමානය සංකේතවත් කිරීම ම වේ. එහිද ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව වටා වූ මකර තොරණට ඉහළින් ශක්‍ර බ්‍රහ්ම සුයාමා දී දෙවි දේවතාවන් නිරූපණය කර තිබෙනු දැක්‌ක හැකිය. එමෙන්ම එහි ද පිටත බිත්තිවලින් පිටතට පැන්නූ දිව්‍ය හස්‌තීන්, විමානාකාර ආකෘතීන් හා ව්‍යාජ දොරටු හා ස්‌ථම්භ ආදිය දැක්‌ක හැකිය. මේ සමානතා අනුව නිශ්චය වශයෙන්ම කිව හැක්‌කේ ප්‍රදේශයේ පැවති උස්‌ සෙල් පර්වත යුගලයක්‌ තෝරා ගනිමින් නිර්මාණය කර තිබෙන යථොක්‌ත විහාර ද්වයෙහිම මූලික අභිප්‍රාය වී තිබෙන්නේ දිව්‍ය විමානයක්‌ ඉස්‌මතු කිරීමයි. එමෙන්ම ඒවා තුළ නිර්මාණය කර තිබෙන බුද්ධ හා දේව ප්‍රතිමා මගින් සංකේතවත් කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ විජයොත්පායට වැඩම කරන ලද අවස්‌ථාවයි.


නිමේෂ තිවංකර සෙනෙවිපාල

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books