දකුණු ඉන්දියාවෙන් ආ කාමච්චි
දකුණු ඉන්දියාවෙන් ආ කාමච්චි
ලංකාවේ තේ වතු ආශ්‍රිත ශ්‍රමිකයන් වශයෙන් දකුණු ඉන්දියානුවන්ගේ ආගමනය 1880-90 ගණන්වල ඉතා සුලබ වූවක් විය. නමුත් පැමිණියේ දකුණු ඉන්දීය ශ්‍රමිකයන් පමණක් ම නොවේ. ඔවුන්ගේ කලාශිල්ප, සංස්කෘතිකාංග ආදිය ද ඒ සමඟ ලංකාවට ආවේය. වතු ශ්‍රමිකයන් සමඟ පැමිණි එක්තරා සර්කස් කණ්ඩායමක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩට පැමිණ එතැන් සිය මාටුවාගල සහ එල්ලාවල ප්‍රදේශයට ද ගොස් සිය සර්කස් ප්‍රදර්ශනය කරන ලදී.
එම නාට්‍ය කණ්ඩායමේ සිටි රූමත් දෙමල තරුණියක හේතුවෙන් ඊට විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. ඔවුන්ගේ නාට්‍ය වතු ද්‍රවිඩ ශ්‍රමිකයන් අතර පමණක් නොව, පාරම්පරික සිංහල ගැමියන් අතර ද ජනප්‍රිය විය. ඊට ප්‍රධාන හේතුව වූයේ යට කී රංගන ශිල්පිනිය වූවාට සැක නැත. ජනප්‍රවාදයට අනුව ඇගේ නම ‘කාමච්චි’ නම් විය.
කාමච්චි පිළිබඳව ජනශ්‍රැතියේ එන කවි කිහිපයක් මෙසේ ය.
නැව් මූදු නැව් පහුකර ඇවිදින් මෙසිංහලේ ගොඩබැස්ස ළමා
රදල මහත්තැන් මුදලට ඉල්ලති දැකගන්ට ඇගෙ සෙල්ලමා
කතෙක් ඔහොම නම් දැක නැත අපි ඇහුවෙත් නැත මෙතමා
මතක් වෙලා කාමච්චිව නින්දක් නෑ ඇය දකින තුරා
අල්ලා නෙරි රැල් ඉසිරී යන්නට කවුද ළඳේ නුඹ සැරසෙව්වේ
අසුර භවන උඩ ගුවනේ ඇවිදින් කඹෙී නටන්නයි සැරසෙන්නේ
අනින් නොවෙයි රිදියෙන් දත් ඇඳි දෙක දිවිය මූන මෙන් කන්නාඩියේ
මෙලොව උපන්නත් නැටුමට ඇද නැත දිය පිට සේරුන් මෙන් ගමනේ
තිස් අට රියනක් උස ඇති කුඹෙි ගෙනැත් සිටවාලා වෙල මැද්දේ
හතර අතට ලනු හතරක් ඇදලා කඹ දෙකකිනි යන පරසිද්දේ
ඉස්සර නව ගම් දෙකේ සෙනග ඇවිල්ල හිටියය වෙල මැද්දේ
ඇස්වහ හෝවහ නැත කාමච්චිට ඉගිලෙනවා කඹදෙක මුදුනේ
තරිදු ලෙසින් ඉර මුදුනට එන විට ගොසින් කුඹෙි පිට ඉඳගත්තේ
ලස්සන රුව ඇති රූබර අගනක් වැටිල දුවයි කඹ දෙක මත්තේ
රුපියල් දහයක් ගැනලා දීලා ගන්ඩ කතා කර එක සත්තේ
විරුදු නැටුම් නටලා යන අගනක් උඹ මිස නෑ මේ රට මත්තේ
මෙසේ කුඹ ගහක් තියා වෙල මැද කුඹ ගහ මුදුනට ගිය කාමච්චි
මැදලා දත් පොඩි නළල් පටේ බැද නැටුමට එනවා සැල වෙච්චි
අනෙක් ඇසල මහ මලුවට එනවද දෙමල රුසිරුබර කාමච්චි
මරලා දමතත් මම දැක්කා නම් ඇරගෙන එනවා කාමච්චි

Comments
Post a Comment