කන්දේ නුවර රජ්ජුරුවන්ගේ ආහාර වැළඳීම

 කන්දේ නුවර රජ්ජුරුවන්ගේ ආහාර වැළඳීම

===================================

නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි 

----------------------------------------------------------

උඩරට රජුන්ගේ චාරිත්‍ර සම්ප්‍රදායන් ඉතා විසිතුරු ඒවා ය. ඉන්දියානු ආභාෂයත්, පෘතුගිසි ආදි බටහිර ජාතින්ගේ ආභාෂයත්, අරාබියානු/පර්සියානු මෙන්ම සියම් ආභාෂයත් ඇසුරින් වර්ණවත් ව සහ ක්‍රමික ව ගොඩනැගුණු ‘උඩරට ක්‍රමය’ තුළ මහරජුගේ බොජුන් වැළඳීමේ සිරිත ද වර්ණවත් වූවක් විය. 

සුඛෝපභෝගී ආහාර වට්ටෝරුවකට අනුව සකස් වූ රස මසවුළු රජු විසින් පරිභෝජනය කරනු ලැබුවේ ද සාමාන්‍ය ක්‍රමයකට නොවේ. ආහාර පරිභෝජනයේ දී එතුමාට ම ආවේණික ක්‍රමයක් පැවති බව ද ඓතිහාසික විස්තරයන්ගෙන් ප්‍රකට වෙයි. රජ වාසල සේවයේ දෛනික ව සිදුවූ කටයුතුවලින් අතිශයින් ම සුවිශේෂී කර්තව්‍යයක් වශයෙන් ද රාජ භෝජනය පිළියෙළ කිරීම හා රජු විසින් එය පරිභෝජනය කිරීම හැඳින්විය හැකිය. 

අතීතයේ දී සිංහලේ මහරජු විසින් භාවිත කළ ආහාර වට්ටෝරු පොතෙන් විශේෂයෙන් තෝරාගන්නා ලද ආහාර වර්ග හා අතුරුපස වර්ග ද පිළියෙල කරගැනීම මෙන්ම, මහරජු විසින් එකී ආහාර පරිභෝජනය කළ ආකාරය ද සිත්ගන්නා සුළු ය.  

ඊට පෙර, සියම් දූත ගමනෙහි යෙදුනු විල්බාගෙදර රාළගේ ගමන් විස්තරයෙහි අඩංගු ‘රාජකීය භෝජනය’ පිළිබඳ උද්ධෘතයක් දැක්වීම උචිත ය. සියමට පැමිණි සිංහල තානාපතින් සඳහා සියම් රජු විසින් භෝජන සංග්‍රහයක් ලබාදෙන ලදී.

“...තිර වියන් බැඳි ගෙවල්වල දී ඉඳුන් හිටුන් නඹු චරිත්‍ර කර එක එක මහත්තැනට රිදී මණ්ඩා තුන තුන සාදා ඒ මණ්ඩා ඇතුලේ  රත්‍රං හෙප්පු පනස් එක එක සාදා ඛාද්‍ය, භොජ්‍ය, ලෙය්‍ය, පෙය්‍ය, සායනීය්‍ය සංඛ්‍යාත පංචවිධ අහර ඒ රත්‍රං හෙප්පුවල පුරවා නඹු චරිත්‍ර ඇතුව දෙවරක දී මෙසේ මෙසේ ම බත සප්පායන් කලාය.” (විල්බා ගෙදර රාළගේ ගමන් විස්තරය, 90 පිට)

සිංහල මහරජුගේ මුළුතැන්ගෙයෙහි ප්‍රධානියා වූයේ බත්වඩන නිලමේ ය. අවසන් රජුගේ කාලයේ දී මෙම තනතුර උනම්බුවේ රාජකරුණා තෙන්නකෝන් වාහල මුදියන්සේ විසින් මෙම හොබවන ලදී. ඔහු යටතේ මුළුතැන්ගේ සේවය පිණිස මඩප්පු නිලමේ, මඩප්පු රාළලා, පිහනරාළලා නොහොත් අරක්කැමියන්, මාළු මුරකාරයන්, තටු කොළ පයිංඩක්කාරයන්, දෙහි දොඩම්කාරයන්, පැහිදුම්කාරයන් හා අගුබලන්නන් ආදී නොයෙකුත් තනතුරු පැවතියේ ය. ඔවුන් යටත් වහලුන් වශයෙන් සැටක පමණ පිරිසක් ද රාජකීය මුළුතැන්ගේ රාජකාරිය සඳහා පත් ව සිටියේ ය. මුළුතැන්ගේ කාර්යයන් සාර්ථක ව ඉටු කර ගැනීම පිණිස වෙනත් රාජකීය නිළධාරින් වූ දියවඩන නිලමේ, මහගබඩා නිලමේ, පණිවිඩකරන නිලමේ සහ බෙහෙත්ගෙයි මුහන්දිරම් ආදින්ගේ සහයෝගය ද නිතර ම ලබාගැණුනි. 

රාජකීය මුළුතැන්ගෙයි ආහාර පිසීම සඳහා භාවිත කරන ලද බඳුන් සියල්ල ම පාහේ තඹ, පිත්තල හා ලෝකඩවලින් තනා තිබුණු අතර, අරක්කැමියන්ගේ නොහොත් පිහන රාළලාගේ අතවැසියන් විසින් ඒවා මනා සේ පිරිසිදු කළ යුතු විය. ආහාර පිසීම සඳහා ගන්නා ලද සියළු ම භාජන ආදිය පිහන රාළලා යටතේ තිබුණු අතර, මහරජු ආහාර භෝජනය කරන රන් තලිය, පැන් කෙණ්ඩිය, පානය සඳහා භාවිත කළ පූකුරුව, පැන් පිළිගන්වන කුළාව, පිඟන්, කුසලාන් හා තැලි තැටි හැඳි ආදි සියල්ලක් ම පාහේ බත්වඩන නිලමේගේ භාරයේ තිබුණි. 

මහවාසලේ බෙහෙත්ගෙයි මුහන්දිරම් නොහොත් රාජකීය වෙදැදුරා දිනපතා ම පැමිණ මහරජුගේ ශරීර පරීක්ෂාවක යෙදුණි. සුවදුක් විමසුවේය. මහරජුගේ මල පවා පිරික්සීය. මේ පරීක්ෂණයන්ගෙන් ඉක්බිතිව එදින රජුගේ සෞඛ්‍යයට හිතකර පරිදි ආහාර වට්ටෝරුව නියම කරන ලදී. පිහනරාළලා විසින් වෙදැදුරාණන්ගේ උපදෙස් අනුව එම ආහාර වට්ටෝරු මනා රසයෙන් යුක්ත වන සේ ගුණදායක ලෙසින් පිළියෙල කරන ලදී. ඔවුහු එම අවස්ථාවේදී හිස සහ මුඛය වැසී යන පරිද්දෙන් සුදු රෙදිකඩ බැඳගත්හ. 

මහරජු වෙනුවෙන් ඉදෙන බත සඳහා සම්බා සහල් සපයන ලද්දේ කුණ්ඩසාලේ ගුරුදෙණියේ මහ අටුවෙනි. එම බත සඳහා ව්‍යඤ්ජන වශයෙන් මැල්ලුම්, තැම්බුම් හොදි නොහොත් සුප්, නියඹලා, ආනන්, ඇඹුල්, තෙම්පරාදු නොහොත් දුමානැවීම කළ ව්‍යඤ්ජන, මත්ස්‍ය බැදුම්, මාංස බැදුම්, ලුණුදෙහි, අච්චාරු වර්ග ආදී කොට ඇති විවිධාකාරයේ ආහාර වර්ග තිහත් හැටත් අතර ප්‍රමාණයක් දෛනිකව පිළියෙල කරන ලදී. මේ ආහාර එක් වර්ගයක රසය වෙනත් ආහාරයක රසයට සමාන නොවුණි. අතුරුපස වශයෙන් හීනටිහාලේ බත්, දීකිරි, පැණි, ගිතෙල්, වෙඬරු ආදී පස්ගෝ රසයන්, හාල් පිටි, මුං හෝ උඳු පිටි ආදියෙන් මෙන් ම හකුරු (ශර්කරා) මුසු කොට පිළියෙල කරන ලද කැවුම්, ආස්මි, අත්සුණු, අතිරස, මුංගෙඩි, මුංකැරැළි, පිට්ටු වර්ග, තලප වර්ග ආදී කොට ඇති වර්ග පනස් පහක් පමණ සකස් කරන ලදී. මහරජුගේ භෝජනය පිණිස සුවඳැල්, පූවාලු, හොරණවාලු, ආණවාලු, රත්නවාලු සහ සුවඳකදලි ආදී කෙසෙල් වර්ග ද, දෙහි, දොඩම්, අන්නාසි, මි අඹ, ගිරා අඹ ආදී වෙනත් පළතුරු වර්ග ද සූදානම් කරන ලදී.

සියළු ආහාර වර්ග පිළියෙල කොට අවසන් වීමෙන් ඉක්බිතිව, මඩප්පු නිලමේගේ පූර්ණ අධික්ෂණය යටතේ මඩප්පු රාළලා විසින් ඒ ඒ ආහාර වර්ග ඇසිරූ රන් රිදී ආදියෙන් නිමැවූ බඳුන් ගෙන පිළිවෙලින් මහරජුගේ භෝජනාගාරය වෙත ගෙනැවුත්, පිළිසහිත පුවරු නොහොත් මේස මත තබන ලදී. දිනපතා ස්නානය කිරීම සහ අලංකාර පවිත්‍ර වස්ත්‍ර හැඳ මුකවාඩම් බැඳගෙන සිටිම මඩප්පු රාළලාගේ අනිවාර්ය අංගයක් විය. භෝජනාගාරය අලංකාර කිරීම, වියන් බැඳීම, සුවඳවත් කිරීම ද ඔවුන්ගේ වගකීමක් විය. 

මේ කටයුතු සියල්ල නිම වීමෙන් ඉක්බිතිව, අගුබලන රාල නමින් හැඳින්වූ රාජකීය නිළධාරියා භෝජන ශාලාවට පැමිණේ. ඔහුගේ රාජකාරිය පිසන ලද ආහාර වර්ගයන්ගේ රස පරික්ෂා කිරීම විය. එක් එක් ආහාරයෙන් ස්වල්පය බැගින් කා බලා, අනතුරුව නිසි වේලාවක් ඔහු සැතපී හිඳ, ආහාරය වස විසයෙන් තොර බවත්, මහරජුගේ භෝජනය පිණිස උචිත බවත් සනාථ කරන ලදී. 

දැන් ඉතිරිව තිබෙන්නේ භෝජනය පිණිස මහරජුගේ සැපත් වීම පමණකි. බත්වඩන නිලමේ මහරජු කරා ගොස්, දහවල් හෝ රාත්‍රී භෝජනය පිළියෙල කොට අවසන් බව දන්වා, බොජුන් වැළඳීම පිණිස පැමිණෙන මෙන් ආරාධනා කරනු ලබයි. 

බොජුන්හලේ එක් කෙළවරක මහරජු වෙනුවෙන් පළස් ඇතිරූ අසුනක් පනවා තිබුණු අතර, ඒ මත ඔහු අරමිණිය ගොතා අසුන් ගත්තේය. අනතුරුව පෙරන ලද පැන් දැමූ රන් බඳුන ගෙනැවුත් එයින් මහරජුගේ සුරත දෝවනය කොට රන් නූලින් වියූ සළුවෙන් තෙත මාත්තු කිරීම දියවඩන නිලමේගේ කාර්යය විය. එයින් ඉක්බිතිව බත්වඩන නිලමේ විසින් රන්මුවා තලිය රජුගේ උකුල මත තබා ඒ මත කෙසෙල්පතක් එළන ලද අතර, ඔහු විසින් ම කෙසෙල්පත මතට බත් හැන්දක් ද, එක් ව්‍යඤ්ජනයක් ද බෙදනු ලබයි. එය හමාර වූ විට මුල් කෙසෙල්පත ඉවත් කොට අලුත් පතක් එළා ඊට ද පෙර සේ ම බත් හැන්දක් සහ ව්‍යඤ්ජනයක් බෙදනු ලබයි. මෙයාකාරයෙන් ප්‍රමාණවත් තරම් බත් ද ව්‍යඤ්ජන ද භෝජනය කිරීමෙන් පසුව නැවත දියවඩන නිලමේ විසින් රාජකීය හස්තය දෝවනය කරන ලදී. 

ඉනික්බිතිව හීණටිහාලේ බත ද, කිරි පැණි ද රජු විෂයෙහි පිළිගන්වනු ලැබුණි. රාජකීය මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය කරන කිරි, දීකිරි හා ගිතෙල් ආදිය දිනපතා ම සැපයීම රාජකීය ගව පට්ටිය භාර මුහන්දිරම්තැන විසින් සිදු කළ යුතු විය. කිරි පැණි වළඳා අවසන් වූ විට රජු වෙනුවෙන් පිළියෙල කරන ලද පනස්පස් වර්ගයක් වූ කැවිලි පිළිගැන්වුණි. එය ද භුක්ති විඳ අවසන් වූ විට රාජකීය වෛද්‍යවරයා විසින් අනුදත් පරිදි සකස් කළ ලෙය්‍ය වර්ග මහරජු හට පිළිගන්වන ලදී. 

මේ සියළු ආහාර පාන වර්ගයන් නිසි පමණ දැන රස විඳීමෙන් පසුව පයිංඩ කරන නිලමේ විසින් පෙති වශයෙන් කපන ලද කරුන්කා පුවක්, පෙති පුවක්, දිය පුවක්, අමු පුවක් යන පුවක් වර්ග හතර ද, කයිප්පු හා සුවඳ බෙහෙත් වර්ග ද එක් කොට සකස් කළ හුණු මර්දඬු ද, කරදමුංගු, කරාඹු නැටි, ජාතිඵල, අරළු ආදී තිස් වර්ගයක් පමණ වූ දැයෙන් යුක්ත වූ බුලත් සහිත ස්වර්ණමය බුලත් හෙප්පුව ගෙන එනු ලැබුණි. ස්වකීය මනාපය පරිදි මහරජු එයින් ද්‍රව්‍ය ගෙන බුලත් විට කන අවස්ථාවේ දී, භෝජනාගාරය වටා සුවඳ දුම් ඇල්ලීමට වෙන ම පිරිසක් සූදානම්ව සිටියෝ ය. මහවාසල සංගීතඥයෝ රජු වෙනුවෙන් මිහිරි ලෙස සංගීතය වාදනය කළෝ ය. 

මේ විචිත්‍ර ආහාර ගැනීම පිළිබඳව රොබට් නොක්ස්ගේ සටහන මෙසේ ය. පහත දැක්වෙන්නේ ඩේවිඩ් කරුණාරත්න අනුවාදයේ උද්ධරණයකි. 

“...මේ රජ්ජුරුවෝ ආහාරයෙහි පමණ දනිති. කාම රසාස්වාදයෙහි දු පමණ දනිති. රජුගේ රාජකීය වතුපිටිවලින් මහවාසලේ පරිභෝජනය සඳහා අසීමිත ආහාර වර්ග හා පළතුරු ආදිය ලැබෙතත්, රජතුමා විශේෂ ප්‍රීතියෙන් අනුභව කරන්නේ පළා කොළ වර්ග හා පළතුරු වර්ග ය. ඒවා පවා අනුභව කරන්නේ දවසට එක් වරක් පමණකි. රජතුමා වෙත ගෙන එනු ලබන කවර දැයක් වුව ද, සුදකින් වසා ගෞරවපූර්වකව ගෙන ආ යුතුය. මෙම දැකුම් කද ගෙන එන්නෝ ද, හුස්ම නොවදනා සේ මුඛවාඩම් බැඳගෙන ම පැමිණෙති.

රජු භෝජනය ගන්නේ ද විධිමත් ලෙසිනි. සුදුපාට පිළියෙන් වසන ලද මේසය ඉදිරිපිට තබන ලද කුඩා පුටුවක හෙතෙම අසුන් ගන්නේ ය. නිල්වන් කෙසෙල් පතක් එළන ලද රත්තරන් භාජනයක් මේසය මත වෙයි. රජු අහර වළඳන්නේ මේ භාජනයෙහි ය. මේ මේසය මත නොයෙක් ආහාර විශේෂවලින් පිරී ගිය තැටි තිස් හතළිස් ගණනක් වෙයි. රජුගේ ආහාර මේසයෙහි සේවයේ නියුක්ත බත්වඩන නිලමේ ආහාර තැටිවලින් රජු කැමති දේ සැන්දෙන් ගෙන රජුගේ රන් බඳුනට බෙදයි. අහර උදවු කරන අවදියෙහි මේ බත්වඩන නිලමේ ද මුඛවාඩම් බැඳගෙන සිටින්නේ ය.”

සිංහල රජුගේ මේ භෝජන ක්‍රමය ඉංග්‍රීසි ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ අභාවයට ගියේ වී නමුත්, දකුණු ඉන්දියාවේ වෙල්ලෝරයේ සිරකරුවෙකු වශයෙන් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උදෙසා ආහාර පිණිස සංකීර්ණ වට්ටෝරුවක් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් වෙන් කරන ලදී. 



කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න

ඡායාරූපය: දෙවැනි රාජසිංහ රජු භෝජන වැළඳීම, Knox 


Nimesha Thiwankara 

Nimesha Thiwankara II

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books