"මහනුවර ආක්‍රමණය - 1804"

 "මහනුවර ආක්‍රමණය - 1804"


"වර්ෂ 1804 දී මහනුවරට විරුද්ධව ඉංග්‍රීසි සේනාංකයක් මෙහෙයවූ කපිතාන් ජොන්ස්ටන්ගේ Narrative of the Operations of a detachment in an Expedition to Candy (1810) කෘතියේ අසම්පූර්ණ සිංහල පරිවර්තනය සහ එම මෙහෙයුම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්"


යන මාගේ අලුත් ව්‍යායාමය පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් Channa Karunaratne මහතා විසින් තබන ලද පූර්ව හඳුන්වාදීම පිළිබඳ ව ස්තූතිවන්ත වෙමි!



එම සටහන පහත පළ වේ.


=================================


ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට රාජධානිය යටත් කරගැනීම සඳහා 1804 සැප්තැම්බර් 24 වනදා ආරම්භ කල අසාර්ථක මෙහෙයුමේදී මහනුවර නගරය අල්ලාගෙන දින දෙකක්ම එහි රැඳී සිටි රාජකීය බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතාන් ආර්තර් ජොන්ස්ටන්ගේ හුදෙකලා වීර ප්‍රයානය පිලිබඳව හිතවත් ඉතිහාසඥ නිමේෂ තිවන්කර සෙනෙවිපාලයන් විසින් සිදුකරන ලද පර්යේශනාත්මක අධ්‍යයනයක් පදනම් කරගනිමින් ඔහු විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත 'කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ මහනුවර ආක්‍රමණය - 1804' කෘතියෙහි පළමු කෙටුම්පත කියවා හමාර කලෙමි.


ශ්‍රී ලකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කතුවරයා 'රාජකීය ආසියාතිකයින්ගේ සංගමයෙහි' යාවජීව සාමාජිකයෙකුද වෙයි. විවෘත විශ්ව විද්‍යාලයෙහි ආරාධිත කථිකාචාර්ය වරයකුද වන හෙතෙම තමන් විසින් සිදුකරනු ලබන ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක අධ්‍යයනයන් සහ ගවේශනයන් පදනම් කරමින් මීට පෙරද මෙවැනි කෘතීන් කිහිපයක්ම පලකර ඇත. මේ කෘතිය මුළුමනින්ම හමුදා මෙහෙයුම් පදනම්ව සිදුකල ගවේශණයක් වන බැවින් එය හමුදාමය සංදර්භයක් තුලින් පර්යාලෝකනය කිරීම සඳහායි මට භාර කලේ.


මේ කෙටි සටහන මා මේ කෘතිය තුලින් ගම්‍ය කරගත් දේවල් පිලිබඳවයි. මේ කෘතිය ඓතිහාසික සටන් පිලිබඳව උනන්දුවක් දක්වන්නන් හට පමනක් නොව හුදු කුතුහලය පිනිස තම දැනුම වඩා ගැනීමේ අරමුනින් කියවීම වින්දනයක් කරගත් ඕනෑම අයෙකු තුල මහත් අභිරුචියක් වඩවන කෘතියකි. මන්ද එය සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් මුළුමනින්ම සත්‍ය තොරතුරු මත ලියැවුනු පොතක් බැවිනි.


කන්ද උඩරට යටත් කරගැනීම සඳහා ජනරාල් හේ මැක්ඩෝවල්ගේ අණදීම යටතේ 1803 දී සිදුකෙරුනු අසාර්ථක මෙහෙයුමෙන් පසුව ඔහුගේ තනතුරට පත්වූයේ ඩේවිඩ් ඩග්ලස් වෙමිස් නමැති  මධ්‍යම යුරෝපයේ සහ අප්‍රිකාවේ සංග්‍රාමික අත්දැකීම් ලැබූ කලබලකාරී දරදඬු පුද්ගලයෙක්. ඔහුට අවශ්‍ය වූයේ ඉක්මනින්ම කන්දේ රජුට පාඩමක් ඉගැන්වීමටයි. 


වෙමිස්ගේ සැලසුම වූයේ එක්වරම දිවයිනේ දිශා පහකින් මහනුවර බලා ඇදෙන සේනාංක පහක් නගරය අල්ලාගැනීමයි. ඒ අනුව මේජර් හර්බර්ට් බීවර්ගේ අනදීම යටතේ කොළඹින්, කපිතාන් බ්ලැකෝල්ගේ අණදීම යටතේ මීගමුවෙනුත්, කපිතාන් හෝර්නර් යටතේ ත්‍රිකුණාමළයෙනුත්, ලුතිනන් කර්නල් මැඩිසන් සමග හම්බන්තොටිනුත් සහ කපිතාන් ආර්තර් ජොන්ස්ටන් සමග මඩකලපුවෙනුත් සේනාක පැමිනීමට නියමිතව තිබුනා. 

 

මේ සේනාංක පහට පැවරී තිබුනේ කන්ද උඩරට රාජධානිය වෙත දිශා පහකින් ඇතුල්වී හැකිතාක් දේපල විනාශ කර දමමින් සහ වගාවන් ගිනිබත් කරමින් මහනුවරට ඇතුළුවී එය යටත් කරගැනීමේ අරමුණකි. 1804 සැප්තැම්බර් 20 දා මෙහෙයුම ඇරඹුන නමුදු මෙහෙයුම ඇරඹීමට දින කිහිපයකට පෙරාතුව මුල් සැලැස්මෙහි සිදුකල සංස්කරනයක් නිසි පරිදි මඩකළපුවෙහි ස්ථානගතව සිටි කපිතාන් ආර්තර් ජොන්ස්ටන් හට නොලැබීම හේතුවෙන් හෙතෙම උඩරටට හුදෙකලාවම ඇතුලු විය. 


ඔහුගේ ගමන් මග පිලිබඳව කදිම විස්තරයක් පොතෙහි අඩංගුවේ. ඔහුගේ ගමන් මග වැටී තිබුනේ මඩකලපුව, කල්මුනෙයි, සියඹලාන්ඩුව, කීරතවෙල, පඟරගම්මන, ඌරනේ, පදියපැලැල්ල, ගුරුදෙනිය, කුන්ඩසාලේ හරහාය. ප්‍රදේශ වනසමින් අති දුෂ්කර ගමනක යෙදුනු ජොන්ස්ටන්ට කන්ද උඩරටට ආසන්න වත්ම ප්‍රතිප්‍රහාරද එල්ල වන්නට විය. ඒවාට වික්‍රාමාන්විතව මුහුන දෙමින් සහ තම භඨ පිරිසට සිදුවන තුවාල, මරන සහ රෝගීවීම්ද සමනය කරගනිමින් සිය බල සෙනඟ ඉදිරියටම මෙහෙයවූ කපිතාන් ජොන්ස්ටන් 1804 ඔක්තෝබර් 06 දා ප්‍රහාරාත්මක ගංගා තරනයකින් මහවැලි ගඟ තරණය කරමින් නගරයට ඇතුල් විය. කතුවරයා සඳහන් කරන ආකාරයට මෙකී ගංගා තරණය බොහෝ දුරට සිදුවන්නට ඇත්තේ ලේවැල්ල තොටුපල ආසන්න ස්ථානයකිනි.


නගරය තුලදී ඔහුට මුහුන දීමට සිදුවන්නේ අති භයානක තත්වයකටය. පෙර පරිදිම රජු නගරය අත්හැර දමා උපක්‍රමිකව පසුබැස තිබුනේ ඉංග්‍රීසි සේනාවේ චිත්ත ධෛර්‍යය බිඳ හෙලීම සඳහා විවිධ උපායද සලස්වමිනි. මම ඒවා දකින්නේ මනෝ මෙහෙයුම් ලෙසයි. කලින් ප්‍රහාරයේදී මරනයට පත්වූ ඉංග්‍රීසි සෙබළුන්ගේ ඇඳුම් ආයිත්තම් සහ උපකරණ රජ මාලිගය තුල ප්‍රදර්ශණය කරමින් තිබුනි. තවද කලින් යටත් කරගත් ඉංග්‍රීසි සෙබළුන්ගේ නිල ඇඳුම් හැඳගත් සිංහල රජුගේ සෙබළුන් කඳු මුදුනකින් මතු වන්නටද වූව. එහි අරමුන වන්නට ඇත්තේ ජොන්ස්ටන්ව ප්‍රයෝගයකට හසුකර ගැනීමයි. මන්ද ජොන්ස්ටන් නගරයට ඇතුළුවී තිබුනේ කිසියම් හෝ මොහොතක තම ආධාරයට පැමිනීමට නියමිතව තිබූ අනෙකුත් ඉංග්‍රීසි සේනාංක හා මුසු වීමටයි.


එහෙත් ජොන්ස්ටන්ගේ ආධාරයට කිසිවෙකුත් පැමිනියේ නැහැ. ඒ වෙනුවට රෑ බෝවත්ම නගරය පුරායින්ම ඔවුනට අසන්නට ලැබුනේ යටත් කරවා ගැනීම සඳහාවන වහසි බස්. ජොන්ස්ටන්ගේ සීමිත භඨ පිරිස සැබැවින්ම පැටලී සිටියේ මාරක උගුලකයි. එහෙත් ඒ කිසිවකටවත් අභිමානවත් තරුන හමුදා නිලධාරියෙකුවූ ජොන්ස්ටන්ගේ චිත්ත ධෛර්‍යය බිඳ හෙලීමට හැකිවුනේ නෑ. ඒ අනුව ඔක්තෝබර 09 දා උදෑසන 6.00 ට නගරය අතහැර පසුබැස වටපුළුව තොටුපොලෙන් මහවැලි ගඟ තරණය කර අනෙක් පස ඉවුරෙහි කඳවුරු බැඳගෙන සෙසු බළ ඇණි පැමිනෙනතෙක් සිටීමට ඔහු තීරනය කලා.  


එතැන් සිට වටපුළුව, බලකඩුව දුර්ගය හරහා මාතලේ මැක්ඩෝවල් බළකොටුව, ඇත්ගාල කඩවත් හරහා මින්නේරිය, කන්තලේ, තඹලගමුව හරහා ත්‍රිකුණාමලය දක්වා තමන් සමග ඉතිරිව සිටි සුළු සෙබළ පිරිස මෙහෙයවමින් ආහාර සහ ජල හිඟයත්, බෙරි බෙරියා, මැලේරියා රෝගීනුත්, තුවාල ලැබූ අයවළුන්ද රැගෙන විටින් විට උඩරට රජුගේ පිරිස් වෙතින් එල්ලවන ප්‍රහාරයන්ටද ලක්වෙමින් ඔහු නායකත්වය සැපයූ පසුබැසීම අතිශයින්ම ධෛර්‍යය සම්පන්න එකක් වූවා. 


ඒපමනකුදු නොවෙයි. මේ පසුබැසීම පදනම් කරගනිමින් කපිතාන් ජොන්ස්ටන් විසින් ඉංග්‍රීසි ආන්ඩුවට ඉදිරි මෙහෙයුම් සඳහා සිදුකර තිබෙන නිර්දේශයන් පිලිබඳව විස්තරයක්ද කතු වරයා විසින් මේ පොතට ඇතුලත්කර තිබෙනවා. එය අතිශයින්ම වැදගත් තොරතුරු අඩංගු විස්තරයකි. 


ඓතිහාසික පුරාවෘත, හමුදා මෙහෙයුම් පමනක් නොව වීර ක්‍රියා පිලිබඳව උනන්දුවක් දක්වන සියල්ලන් විසින්ම කියවිය යුතු පොතක් ලෙස මා මෙය නිර්දේශ කරන අතර තවමත් තුරුනු වියේ පසුවන කතුවරයාට මෙවැන් පර්යේශණාත්මක ඉදිරිපත් කිරීම් ගනනාවක් ඉදිරියේදීත් කිරීමට හැකිවේවායි ඉත සිතින් සුබ පතනවා.


ඡායාරූපය: Prasanna Weerakkody- Paintings

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books