සෙංකඩගල නුවර උපත - නුවර කියැවීම 01

සෙංකඩගල නුවර උපත

ලංකාවේ අන්තිම රාජධානිය වූ මහනුවර රාජධානිය එදා හැදින්වුණේ සෙංකඩගල නොහොත් සෙංඛණ්ඩ ශ‍්‍රී ශෛලාභිධාන ශ‍්‍රීවර්ධනපුර යන නමින්. කුරුණෑගල විස්තරය වැනි පැරණි විත්ති පොත්වල කියවෙන ආකාරයට දඹදෙණියේ දෙවැනි පරාක‍්‍රමබාහු (1236 - 1270) රජතුමාගේ මහසෙනෙවියා වුණ සිරිවර්ධන සේනාපති විසිනුයි මේ නගරය ගොඩනංවලා තියෙන්නේ. එහෙම වුණත්, ඊට බොහෝ කාලයකට පෙර සිට ම මේ ප‍්‍රදේශයේ විශාල ජනාවාස සංඛ්‍යාවක් ව්‍යාප්ත වෙලා තිබුණ බව ඉතා ම පැහැදිලි යි.


ලංකාවේ ඉතා ම පැරණි ලෙන්ලිපි ගණනාවක් මහනුවරට නුදුරු වේගිරිය, හිදගල, බඹරගල වගේ ස්ථානවලින් හමුවෙනවා. ඒ කෙසේ වෙතත්, ඓතිහාසික ලේඛන සම්ප‍්‍රදාය ගැන සලකන විට බහුලව සදහන් වන්නේ මේ නගරය දඹදෙණි යුගයේ කරවූ බවට පළවන ප‍්‍රවෘත්ති. දඹදෙණි නුවර සහ යාපානුවර (යාපහුව) ගොඩනැංවූවාට පසුව කන්ද උඩරට ප‍්‍රදේශයේ හිටපු මිනිස්සු ඇවිත් දඹදෙණියේ පරාක‍්‍රමබාහු රජතුමාගෙන් ඉල්ලීමක් කරනවා, තමන් වාසය කරන ප‍්‍රදේශයටත් නුවරක් කරවලා දෙන්න කියලා. ඒ අනුව තමයි දඹදෙණියේ හිටපු සිරිවර්ධන සෙනෙවියා ප‍්‍රමුඛ විවිධ කුලවලට අයත් නොයෙක් දෙනා ගෙනැවිත් සිරිවර්ධනපුරය ගොඩනංවන්නේ. මේ ආකාරයෙන් ගොඩනගපු සිරිවර්ධන නුවර මධ්‍යයේ අස්ගිරි විහාරය කරවූවා යැයි කියා කුරුණෑගල විස්තරය කියන ඓතිහාසික විත්තිපොත සදහන් කරනවා. කුරුණෑගල විස්තරය අනුව මේ නව නගරය නිර්මාණය කරලා තියෙන්නේ කසාවත්තොටින් සැතපුම් දෙකක් එහායින්.


කසාවත්තොට කියලා කියන්නේ ‘කටුගස්තොට’ විය යුතුයි.
ඒ වාගේ ම අස්ගිරි තල්පත සදහන් කරන ආකාරයට කුරුණෑගල රජකරපු සිවුවැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ සේනාපති විදිහට කටයුතු කරපු එතුමාගේ බෑණා වුන සිරිවර්ධන සෙනෙවියා විසිනුයි මේ නගර කර්මාන්තය කරලා තියෙන්නේ.

මේ කාලයේ කටුපුලූ නුවර කියලාත් මේ ප‍්‍රදේශය ව්‍යවහාර වුණා. ඇතැම් උගතුන්ට අනුව කටුපුලූ නුවර කියන්නේ මහනුවරට නුදුරු වටපුලූව හෝ කටුගස්තොට හෝ වන්නට පුළුවන්.

පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල රජ සමයේ (1186 - 1196) එමෙන්ම ‘ශ‍්‍රී වාස පුර’ යන නමින් හැඳින්වූ එම ප‍්‍රදේශයට නිශ්ශංකමල්ල රජු පැමිණ මාලිගාවක් ද තනවා වාසය කළ බවට ජනප‍්‍රවාදයක් ද නුවර ප‍්‍රදේශයේ පවතිනවා.

ඒ කොහොම වුණත්, මහනුවර නගරයේ අද අපිට දකින්න ලැබෙන පැරණිම ගොඩනැගිල්ල තමයි අස්ගිරි මහාවිහාරයට අයිති ගෙඩිගේ ගොඩනැගිල්ල. මධ්‍යකාලීන යුගයේ ඉන්දියාවේ ජනප‍්‍රිය වුණ වාස්තු ශෛලියක් අනුගමනය කරමින් මේ ගෙඩිගෙය නිර්මාණය කළේ ගම්පොළ නුවර රජ කරපු තුන්වැනි වික‍්‍රමබාහු රජු බවටයි පිළිගැනෙන්නේ.

තුන්වැනි වික‍්‍රමබාහු රජුගේ මෑණියන් වුණ චන්ද්‍රාවතී දේවියගේ දේහය ආදාහනය කළ ස්ථානයේ චන්ද්‍රාවතී බෝධිය නමින් බෝධියක් රෝපණය කරලා එතැන මේ ගෙඩිගෙය නිර්මාණය කරපු විස්තරය පසුකාලීන ලේඛන කිහිපයකම සදහන් වෙනවා.
සෙංකඩගල නගරය නිර්මාණය කළේ තුන්වැනි වික‍්‍රමබාහු රජුගේ අගමැතිකම දරපු නිශ්ශංක අලගක්කෝණාර විසින් කියලාත් ප‍්‍රසිද්ධයි. ඒ එවක බලවත්ව සිටි ආර්ය චක‍්‍රවර්තී පාලකයන්ගෙන් එල්ල වන ආක‍්‍රමණ නතර කළ හැකි කදවුරු නුවරක් ලෙසට. මේ කාලයේ ආපු සතුරු සේනාවක් කටුගස්තොට දී සම්පූර්ණයෙන් ම විනාශ කරනු ලැබුවා.
තුන්වැනි වික‍්‍රමබාහු රජුගේ බිසවක් වුණ හෙණකද බිසෝබණ්ඩාර දේවියගේ නාමයෙන් ‘සෙංකඩගල’ කියන නම ලැබුණා කියලාත් කියනවා. ඇය  ඕපපාතික ව උපන් කාන්තාවක්. ඒ වාගේ ම සිය ජීවිත කාලය තුළ උඩරට ප‍්‍රදේශයේ වෙහෙර විහාර ගණනාවක් ම ඇය විසින් ප‍්‍රතිසංස්කරණය කරලා සගසතු කොට පූජා කළා.

සෙංකඩගල නුවර ජයභූමියක් වශයෙන් ඉදිවුණා කියලා අදහසකුත් තියෙනවා. මේ බිමේ දී නරියෙකු පරදා සාවෙකු ජයගත් බවත්, කොටියෙකු පරදා මිනිසෙකු ජයගත් බවත්, මේ සිදුවීම් දුටු ‘සෙංකඩ’ කියන බමුණා මේ ජයභූමිය ගැන තුන්වැනි වික‍්‍රමබාහු රජතුමාට දැනුම් දුන් බවත් ජනප‍්‍රවාදවල කියවෙනවා. ඉන් අනතුරුව වික‍්‍රමබාහු රජතුමා සෙංකඩගල නුවර නිර්මාණය කළා කියලයි කියවෙන්නේ. මේ කතාවලට අතිරේකව අපට හමුවූ 19 වැනි සියවසට පමණ අයත් පුස්කොළ පොතක සදහන් වෙනවා, මේ බිමේ දී ගැරඩියෙකු පරදවා මූසිකයෙකු ජයගත් බව!

‘‘සෙංකඩගල ජයභූමිය

පවර වසි’තිසක දෙසැට සියෙක සැත්තෑ වරුෂ සඳුදින ගොන් රැසදී
අපර වෙසග වක අට රිකරිදු ලද සඳු දින ලද සතලොස් පැයෙදී
මැදුර එ රජසල උන් මීයෙකු දැක ගරසප් ඩැහැ කල පොරට යෙදී
බිඳැර ඔහුගෙ මුදුනත ගත මූසික ජය ලදි තුන්පැය ඇතුලත දී

සිරින් සපිරි සකවසින් දහස් යලි සසිය දෙපන්තිස් පිරුණු තැනේ
මසින් වෙසග අවපරපස වරුණය ලද නිමකරන දිනේ
සිරින් අලකපුර ලෙසින් බැබලි සෙංකඩගල පනසෙහිදී තොසිනේ
තැනින් සමර කර සොඳින් දිනිය මීයෙක් ගැරඩියෙකුට ගුරුළු මෙ
නේ’’


ගම්පොළ යුගයට අයත් සගම විහාර ලිපියේ සදහන් වෙනවා ‘සෙංකඩ දෙවි’ නමින් දෙවි කෙනෙක් ගැන. මේ ‘සෙංකඩ දෙවි’ කියන්නේ නාථ දෙවියන්ට වන්නට පුළුවන්. මහනුවර නගර සීමාවේ තියෙන දෙවැනියට පැරණි ම ගොඩනැගිල්ල විදිහට අපට හඳුනාගන්න ලැබෙන්නේ නාථ දේවාල ගෙඩිගෙය. මේ ගෙඩිගෙය කරවූවෙත් තුන්වැනි වික‍්‍රමබාහු රජතුමා විසින්.

සෙංකඩගල නගරයේ තියෙන වැදගත් ම, පූජනීය ම ස්ථානය තමයි දළදා මාළිගාවේ දළදා හාමුදුරුවන් වැඩඉන්න වැඩසිටිනා මාළිගාව නිර්මාණය කරලා තියෙන්නේ. මෙම අද්විතිය නිර්මාණය මුලින් ම ආරම්භ කළේ පළමුවැනි විමලධර්මසූරිය රජතුමා. එතුමාගේ කාලයේ දළදා මාළිගාව සදහා ස්ථානය හඳුනාගත්තේ කලූගලක් පළාගෙන දියපාරක් මතුවුණ තැනකින් බව ජනප‍්‍රවාදවල කියවෙනවා. අදටත් වැඩඉන්න මාළිගාවට පොළොව ඇතුළෙන් දිය උල්පතක් තියෙන බවත්, මාළිගාවේ ළිදට ජලය සැපයෙන්නේ ඒ උල්පතෙන් බවත් ඇතැමුන් ස`දහන් කරනවා.
‘සෙංකඩගල’ කියන නමේ අර්ථය ගත්තහම ‘සේනා ඛණ්ඩනය කළ’ කියන අර්ථය සමහරු ඉස්මතු කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ ස්ථානටය ජයභූමියක් බව මුලින් ම හඳුනාගත්ත සෙංකඩ බ‍්‍රාහ්මණයා හිටපු ගල්ලෙන අදටත් උඩවත්ත කැලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ‘සෙංකඩ ලෙණ’ යනුවෙන් එහි සටහන් කර තිබෙන බවත් කියවෙනවා.
තවත් ජනප‍්‍රවාදයක සදහන් වෙන්නේ රාවණා යුගයට පෙර බලි කියන අසුර රජු හන්තානේ වාසය කරන කාලයේ හන්තානේ කරවා තිබුණ ඊශ්වර දේවාලයක් නිසා ‘සෙංකඩගල’ කියන නම බැවහැර වෙන්න පටන් ගත්ත බව. ඊශ්වර දෙවියන්ව හඳුන්වන්න ‘චෙණ්කාටන්’ කියන නම භාවිත වෙනවා. රාජධානි කාලයේ උඩවාහලවත්තේ පදිංචි වෙලා හිටපු රතනපාල කියන ගණින්නාන්සේ බොහෝ කාලයකට පසුව ඒ දේවාලය හොයාගෙන එතැන දෙවියන්ට පුද සත්කාර කළා කියලාත් ජනප‍්‍රවාද තියෙනවා.


සෙංකඩගල නොහොත් සෙංකණ්ඩ ශ‍්‍රී ශෛලාභිධාන ශ‍්‍රීවධනපුර යනුවෙන් මුල දී හැදින්වුණ නගරය පසුකාලිනව පොදුජන ව්‍යවහාරයේ දී ‘කන්ද’ කියලා හැදින්වුණා. නගරයේ පිහිටිම අනුව බදුල්ල පැත්තේ ඉදන් රජ මාවත ඔස්සේ ආපු මිනිස්සු මේ නම භාවිත කළා කියලයි කියන්නේ. ඒ වගේ ම ‘ගලේ නුවර’ කියලාත් පොදු ජනතාව විසින් මේ නගරය හැදින්වූවා. ‘කන්ද’ කියන සිංහල වචනය ඉංග‍්‍රීසින් උච්චාරණය කරන්නට යාමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ‘කැන්ඩි’ කියන ඉංග‍්‍රීසි නාමය නිර්මාණය වුණා.

Comments

Popular posts from this blog

Nimesha Thiwankara's New Books